ප්‍රතිආශෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන 02 ක් ස්ථාපනය කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය මඟින් නාවික හමුදාව වෙත මූල්‍යමය දායකත්වය

ප්‍රතිආශෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන 02 ක් ස්ථාපනය කිරීම වෙනුවෙන් වැයවන වියදමට අදාල ප්‍රේෂණපත, 2024 ජනවාරි මස 24 වන දින ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී යාපා අබේවර්ධන මහතා විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිරිනැමීම, නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යපෘතිය යටතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පලුකඩවල ශ්‍රී සුමන විද්‍යාලයේ සහ වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රතිආශෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ස්ථාපිත කිරීම වෙනුවෙන් මෙලෙස ජාතික ලොතරැයි මණ්ඩලය වෙතින් මූල්‍ය දායකත්වය ලබාදීම 2024 ජනවාරි මස 24 වන දින සිදුකෙරිණි.

මෙම ප්‍රතිආශෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම මඟින්, එම විද්‍යාල සඳහා අත්‍යවශ්‍යව පැවති පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තවද, මෙම ප්‍රතිආශෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ කටයුතු නාවික හමුදාධිපති ගේ සෘජු අධීක්‍ෂණය යටතේ සිදුකෙරෙන අතර, ව්‍යාපෘතිය මාස දෙකක (02) කාලයක් ඇතුළත අවසන් කිරීමට නියමිතව ඇත.