නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් චන්දන රත්නායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් චන්දන රත්නායක අද දින (2024 ජනවාරි 24) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන්දිනය යෙදී තිබූ රියර් අද්මිරාල් චන්දන රත්නායක වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් චන්දන රත්නායක වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.
1988 වසරේදී ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 06 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් චන්දන රත්නායක, සිය වසර 35 කට අධික සේවා කාලය තුළ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (සුභසාධක ව්‍යාපෘතිය), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික (සැපයුම්) හා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (දේශීය මිළදී ගැනීම්), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (විශේෂ ව්‍යාපෘති), කපිතාන් සැපයුම් හා සේවා දෙපාර්තමේන්තුව (නැගෙනහිර), ජ්‍යේෂ්ඨ පාඨමාලා සම්බන්ධීකාරක (දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාව), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික (ආහාර හා නිල ඇදුම්) හා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විදේශීය මිළදී ගැනීම්, අධ්‍යක්‍ෂ නාවික ආහාර හා නිල ඇදුම්, කොමදෝරු අධිකාරි සැපයුම් හා සේවා (උතුර), අධ්‍යක්‍ෂ නාවික (වැටුප් හා විශ්‍රාම වැටුප්), අධ්‍යක්‍ෂ ජෙනරාල් (අයවැය හා මුදල්) සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් යන ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කර ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.