නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2024 ජනවාරි මස 21 වන දින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති නිරීක්ෂණය කර, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීම සිදුකෙරිණි.
ඒ අනුව, 2024 ජනවාරි මස 21 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන්, එම විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීමට නියමිත රියර් අද්මිරාල් කාංචන බානගොඩ ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමඟ උතුරු නාවික විධාන මූලස්ථානයේ නිරීක්ෂණ සංචාරය සිදු කල නාවික හමුදාධිපති, විධාන මෝටර් රථ ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් නවීකරණය කරන ලද මෝටර් රථ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් උතරු නාවික විධානයට අයත් නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීම, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ පොදු භෝජනාගාරයේදී සිදු කෙරිණි.
එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, උතුරු නාවික විධානය මඟින් සිදු කරනු ලබන මෙහෙයුම් කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති සහ ප්‍රදේශයේ හමුදා හා සිවිල් සබඳතා අපේක්ෂිත මට්ටමට සමබරව පවත්වා ගැනීම සම්බන්ධයෙන් උතුරු නාවික විධානයේ ආඥාපති ඇතුළු එම විධානයේ සියළුම නාවික හමුදා පුද්ගලයන් වෙත ප්‍රථමයෙන් සිය ස්තූතිය පල කරන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, රට අභියෝගාත්මක කාල වකවානුවක් පසුකරමින් ක්‍රමයෙන් යථා තත්වයට පත්වන බවත්, ආර්ථික දුෂ්කරතා වෙනුවෙන් රජය මඟින් අවශ්‍ය සහන සලසාදී ඇති බවත්, නාවික හමුදාව මඟින් ක්රීයාවට නංවා ඇති විවිධ සුභසාධන ව්‍යාපෘති මඟින්ද නාවික පුද්ගලයන් වෙත සහන සලසා ගතහැකි බවත් පවසන ලදි.
පසුගිය 2023 වර්ෂයේදී පැවති දුෂ්කරතා හමුවේ වුවද, නාවික හමුදාව දේශීය ජල තීරයෙන් ඔබ්බට ගොස් ඉන්දියානු සාගර කලාපය ඔස්සේ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීමට සිදු කල දායකත්වය, රටේ මතු පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදා ගැනීමට මහඟු පිටිවහලක් වන බවත්, ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාවට කැපවෙන පාර්ශවකරුවෙකු වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජන මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව සිදුකරනු ලබන දායකත්වය සහ ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපයේ සිදුකරනු ලබන කාර්යභාරය දේශීය හා විදේශීය වශයෙන් නාවික හමුදාවට විශාල පිළිගැනීමක් ලැබීමට හේතු වී ඇති බවත් පවසන ලදි. ගාලු කථිකාව ඇතුළු අන්තර් ජාතික සමුද්‍රීය සම්මන්ත්රණ සාර්ථකව සංවිධානය කිරීම තුළින් ගොඩනඟා ගත් විදෙස් සබඳතා තුළින්, එළඹෙන 2025 වර්ෂයේදී නාවික හමුදාවේ නෞකා බල ඇණිය පුළුල් කරමින් නාවික හමුදාව වෙත නව ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවක් ලැබීමට නියමිත බවත් පවසන ලදි.
එමෙන්ම, ජල ශාස්ත්‍රීය පනත සම්මත කිරීම තුලින් ඉදිරියේදී ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට නාවික හමුදාවට සුවිශේෂි දායකත්වයක් ලබා දිය හැකි බව පැවසු නාවික හමුදාධිපති, ආර්ථික දුෂ්කරතා හමුවේ තම පෞද්ගලික ආර්ථික කටයුතු මනා ලෙස කළමණාකරණය කර ගනිමින්, නිසි අවබෝධයෙන්, නිරවුල් මනසකින් සහ කායික හා මානසික යෝග්‍යතාවයෙන් යුතුව නාවික හමුදාවේ කාර්යභාරය වෙනුවෙන් සෑම නාවික හමුදා පුද්ගලයෙකුම කැප විය යුතු බවත් අවධාරනය කෙරිණි.
විශේෂයෙන් මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම වෙනුවෙන් නාවික හමුදාව සිදුකරනු ලබන සුවිසල් කාර්යය භාරය සමාජයේ විශාල ඇගයීමකට ලක් වී ඇති පසුබිමක, ආර්ථික අපහසුතාවන් ගෙන් මිදීම සඳහා පහසුවෙන් මුදල් ඉපයීමේ අරමුණින් මත්ද්‍රව්‍ය ජාවාරම, ජාලගත මුදල් ඉපයීමේ ක්‍රීඩා ඇතුළු නීති විරෝධී කටයුතු වලට සම්බන්ධවීමෙන් හෝ අනුබලදීමෙන් නාවික පුද්ගලයන් වැළකිය යුතු බව පැවසූ නාවික හමුදාධිපති, දේශපාලන මතිමතාන්තර නාවික හමුදාව තුළ ප්‍රචලිත කිරීමෙන් වැලකී, නාවික විනය හා මනා පාලනය පවත්වා ගැනීම සඳහා අංශ ක්‍රමය විධිමත්ව පවත්වා ගෙන යමින් පවත්නා සමාජ, දෙශපාලන හා ආර්ථික තත්වය හමුවේ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන නාවිකයන්ගේ ගැටළු විසඳීම සඳහා නිසි අවබෝධයකින් යුතුව ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් කටයුතු කල යුතු බවත් අවධාරණය කෙරිණි.
එමෙන්ම, නාවික හමුදා පුද්ගලයන්ගේ ගැටළු, දුෂ්කරතා පමණක් නොව නිර්මාණාත්මක අදහස් එළි දැක්වීම සඳහා ජාලගත මෘදුකාංගයක් මෙන්ම, නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් ජාලගත පුස්තකාල පහසුකම් නුදුරේදි නාවික හමුදාව තුළ ස්ථාපනය කිරීමට අපේක්ෂා කරන බව පැවසූ නාවික හමුදාධිපති, එමඟින් නිරවුල් මනසකින් රාජකාරි කල හැකි විනයානූකූල හා දැනුමෙන් පිරිපුන් පිරිස් බලයක් බිහි කිරීම අපේක්ෂා කරන බවත් පවසන ලදි.
අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයේ නිල සංචාරය සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති, එහිදී, කල්මුනෙයි තුඩුවෙහි ස්ථාපිත නවීකරණය කල ‘Horizon Cabana’ නිලධාරි නිවාඩු නිකේතනය විවෘත කර එම නවීකරණය කටයුතු කඩිනමින් සම්පූර්ණ කිරීම සඳහා දායක වූ නාවික පුද්ගලයන් ඇගයීමට කටයුතු කෙරිණි. තවද, මෙම සංචාරය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන නිලධාරි නිවාස පරිශ්‍රයේ ‘මී’ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති ගේ උතුරු නාවික විධාන සංචාරය නිමාවට පත් විය.