නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 36 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න අද දින (2024 ජනවාරි 16) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1987 වසරේදී 16 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, සිය වසර 36 කට අධික සේවා කාලය තුළ විවිධ ආයතන සහ නෞකාවන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. තවද, ඔහු ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරි (මෙහෙයුම්), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික පරිපාලන, වැඩ බලන අධ්‍යක්‍ෂ නාවික පරිපාලන, කපිතාන් මුහුදු පුහුණු, කොමදෝරු මුහුදු පුහුණු, නාවික පර්යේෂණ ඒකකයේ ප්‍රධානී, අධ්‍යක්‍ෂ නාවික පුහුණු, නාවික අණභාර නිලධාරි (ත්‍රිකුණාමලය දකුණ), නියෝජ්‍ය ආඥාපති නැගෙනහිර නාවික පෙදෙස, අධ්‍යක්‍ෂ නාවික සුභසාධන, වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු, ආඥාපති වයඹ නාවික පෙදෙස, ආඥාපති නැගෙනහිර නාවික පෙදෙස හා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී යන ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කර ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.