නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ධම්මික කුමාර නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ධම්මික කුමාර අද දින (2024 ජනවාරි 15) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් ධම්මික කුමාර වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් ධම්මික කුමාර වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1988 වසරේ දී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 06 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ධම්මික කුමාර, සිය වසර 35 කට අධික සේවා කාලය තුළ විවිධ ආයතන සහ නෞකාවන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. තවද, ඔහු නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු කපිතාන්, නාවික හමුදාධිපතිගේ අධි සහයක සහ පෞද්ගලික ලේකම්, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නාවික හමුදා පුහුණු කාර්යය මණ්ඩලයේ ප්‍රධානී, නාවික හමුදාධිපතිගේ නාවික සහයක, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු, බටහිර නාවික විධානයේ ආඥාපති, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කර ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

තවද, රියර් අද්මිරාල් ධම්මික කුමාර 2023 අගෝස්තු මස 21 වන දින සිට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති වශයෙන් කටයුතු කරනු ලබන අතර, ඔහු එම ධූරයේ කටයුතු අඛණ්ඩව සිදු කරනු ඇත.