නාවික හමුදා සාමාජිකයෙක් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම සඳහා කිලෝමීටර් 580 ක දුරක් ඇවිදීම පූනෑවෙන් ආරම්භ කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සක්‍රිය සේවයේ නියුතු නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන යන නාවිකයා විසින් කිලෝමීටර් 580 ක දුරක් ඇවිද, නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම සඳහා අද දින (2024 ජනවාරි 12) උදෑසන පූනෑවෙන් සිය ඇවිදීම ආරම්භ කෙරිණි.

අද දින (2024 ජනවාරි 12) සිට දින 08 ක කාලයක් තුළ දිනකට කිලෝමීටර් 72.5 බැඟින් ඇවිදිමින් මෙම කිලෝමීටර් 580 ක දුරක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන යන නාවිකයා අපේක්ෂා කරනු ලබයි.

ඒ අනුව, පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය නාවික හමුදා කඳවුරේ සිට අනුරාධපුරය, පුත්තලම මාර්ගයෙන්, කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වාත්, නැවත නිදහස් චතුරශ්‍රයේ සිට කඩවත, වරකාපොල, පොල්ගහවෙල, කුරුණෑගල, දඹුල්ල, මිහින්තලේ මාර්ගය ඔස්සේ පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය නාවික හමුදා කඳවුරෙන් අවසන් කිරීමට නියමිතව ඇත.