ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කල ඒකාබද්ධ භූ ජලතරණ අභ්‍යාසය යාපනය පලෙයිතිව් දූපතේදී සාර්ථකව නිමාවට පත් වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද, ඒකාබද්ධ භූ ජලතරණ අභ්‍යාසය, යුද නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන් හත්සීයය විසි දෙදෙනෙකු (722) ගේ සහභාගීත්වයෙන් 2024 ජනවාරි මස 09 වන දින සිට දින තුනක් (03) යාපනය, පලෙයිතිව් දූපත කේන්ද්‍ර කර ගනිමින් පැවතුණු අතර, එය 2024 ජනවාරි 11 වන දින සාර්ථකව නිමාවට පත් විය.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීමෙන්, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ අධීක්ෂණයෙන් හා සංවිධායකත්වයෙන් පවත්වන ලද මෙම ඒකාබද්ධ භූ ජලතරණ අභ්‍යාසය සඳහා නාවික හමුදා සාමාජිකයින් හාරසිය තිස් හතරක් (434), යුද හමුදා සාමාජිකයින් දෙසිය අසූ හතරක් (284) සහ ගුවන් හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හත්සීයය විසි දෙදෙනෙකු (722) සහභාගී විය. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාලතම ගොඩබෑමේ නෞකාව වන ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නෞකාව ඇතුළු ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම, රණජය යන වේග ප්‍රහාරක නෞකාවන් සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නෞකා හා යාත්‍රා රැසක් මෙන්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයට අයත් හෙලිකොප්ටර් යානාවක් ද මෙම අභ්‍යාසය සඳහා එක් විය.
උතුරු පළාතේ කච්චතිව් හා පලෙයිතිව් දූපත් කේන්ද්‍ර කරගනිමින් වාර්ෂිකව පැවැත්වෙන දේව මංගල්‍යයන් ඇතුළු උතුරේ දූපත් වෙත භාණ්ඩ සහ පිරිස් ගොඩබෑමේ රාජකාරීන් නාවික හමුදා ගොඩබෑමේ නෞකා නිරන්තරයෙන් සිදු කරනු ලබයි. එමෙන්ම, හදිසි අවස්ථාවකදී ත්‍රිවිධ හමුදාව එක්ව උපායමාර්ගික භූ ජලතරණ මෙහෙයුම් සිදුකිරීමේදී අවශ්‍ය වන අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම ඇතුළු මෙහෙයුම් කාර්යක්ෂමතාවය අඛණ්ඩව පවත්වා ගැනීමට මෙවැනි ඒකාබද්ධ භූ ජලතරණ අභ්‍යාසයන් මහත් පිටිවහලක් ගෙන දෙනු ඇත.