ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2024 ජනවාරි මස 08 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2024 ජනවාරි 10) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
‘INS KABRA’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාවේදී එහි අණදෙන නිලධාරී, ලුතිනන් කොමාණ්ඩර් අජිත් මොහාන් (Lieutenant Commander Ajith Mohan) විසින් බටහිර නාවික විධානයේ හා ශ්රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා සමඟ නිල හමුවක්, 2024 ජනවාරි මස 08 වන දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරුණු අතර, නෞකාවේ නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්රදේශ කිහිපයක සංචාරය කිරීමද සිදුකෙරිණි.