73 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහන් මාලාවක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ආගමික සහ සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරුණු අතර, ඒ යටතේ සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි 2023 දෙසැම්බර් මස 01 වන දින සිට 28 වන දින දක්වා ලේ දන්දීමේ වැඩසටහන් මාලාවක් සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ, බටහිර, දකුණ සහ ගිණිකොන යන නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් මෙම ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහන් මාලාව පැවැත්විණි. ත්‍රිකුණාමලය මහ රෝහල, වව්නියාව මහ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, මුලතිව් මහ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, තෙලිප්පලේ මූලික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, ජාතික රුධිර පාරවිලයන සේවය කොළඹ, කරාපිටිය ශික්ෂණ රෝහල සහ පොතුවිල් මූලික රෝහල යන රෝහල් තුල රුධිර පාරවිලයන මධ්‍යස්ථානයන්හි රුධිර අවශ්‍යතාවයන් සපුරාලීම මෙම ලේ දන් දීමේ සමාජ සත්කාර්යය තුලින් සිදුකෙරිණි.
තවද, මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා සියළුම නාවික විධානයන්ට අයත් නාවික හමුදා පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය දායකත්වය ලබාදීම සිදුකෙරිණි.