ඉන්දියානු සාගර නාවික සම්මන්ත්‍රණයේ (IONS) රචනා තරඟය 2022 හි ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමාණ්ඩර් අමිල ප්‍රසංග දිනාගනියි

ඉන්දියානු සාගර නාවික සම්මන්ත්‍රණයෙහි (IONS) රචනා තරඟය 2022 හි ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමාණ්ඩර් අමිල ප්‍රසංග විසින් දිනාගැනීමට සමත්විය.

ප්‍රංශ නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී සහ ඉන්දියානු සාගර නාවික සම්මන්ත්‍රණය (IONS) හි සභාපති වශයෙන් කටයුතු කරනු ලබන Admiral Pierre Vandier ගේ මගපෙන්වීම යටතේ, ප්‍රංශයේ, ඉන්දියානු සාගර නාවික සම්මන්ත්‍රණ ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද මෙම රචනා තරඟාවලිය “අපගේ ගෝලීය මුහුදට සහ සාගරවලට බලපාන තීරණාත්මක සමුද්‍රීය ගැටලු” යන තේමාව යටතේ පැවැත්විණි.

2023 වර්ෂයේදී, තායිලන්තයේ රාජකීය නාවික හමුදාවේ සත්කාරකත්වයෙන්, තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති 08 වන ඉන්දියානු සාගර නාවික සම්මන්ත්‍රණයේදී, ඉන්දියානු සාගර නාවික සම්මන්ත්‍රණයෙහි (IONS) රචනා තරඟය 2022 හි ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කෙරිණි. එහිදී, සාමාජික රටවල් 25 ක සහ නිරීක්‍ෂණ රටවල් 08 ක නාවික හමුදා සහ සිවිල් සාමාජිකයන් විසින් ඉදිරිපත් කරන ලද රචනා අතුරින් "Fishing for the Future: Strategies and Collaborations for the Preservation of Indian Ocean Fisheries," මාතෘකාව යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමාණ්ඩර් අමිල ප්‍රසංග විසින් රචිත රචනාව සඳහා ප්‍රථම ස්ථානය හිමි විය.

මෙම විශිෂ්ට ජයග්‍රහණය ශ්‍රී ලංකා නාවික හමුදාවට කීර්තියක් ගෙනදීමටත්, ගෝලීය සමුද්‍රීය ආරක්ෂක අභියෝග සඳහා බුද්ධිමය දායකත්වය ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැපවීමත්, ඒ සඳහා අත්‍යවශ්‍ය නව්‍ය විසඳුම් පෝෂණය කිරීමට සහ බුද්ධිමය කතිකාවන් ප්‍රවර්ධනය කිරීමට නාවික හමුදාවේ කැපවීමත් අවධාරණය කිරීමට සමත් විය.

තවද, ගෝලීය වශයෙන් ධීවර සම්පත් ආරක්ෂාව සහ එම සම්පත් තිරසාර භාවිතය ප්‍රචලිත කිරීම සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සිදුකරනු ලබන කාර්යභාරය පිලිබඳ කලාපීය හා කලාපීය නොවන සමුද්‍රීය පාර්ශව කරුවන් දැනුවත් කිරීමටද මෙම ජයග්‍රහණය මඟින් මහඟු පිටිවහලක් ගෙන දෙනු ඇත.