නාවික හමුදා නිලධාරීන් 26 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 17 වන මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරයි
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කල දහහත් වන (17) පාඨමාලාවට අයත් නිලධාරීන් වෙත සහතික හා කුසලාන ප්‍රදාණය කිරීම ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු, රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී 2023 දෙසැම්බර් මස 14 වන දින පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
2023 වර්ෂයේ ජනවාරි මස 04 වන දින ආරම්භ වූ දහහත් වන (17) ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 72 ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 26 ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 24 ක් සහ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් 01 ක් ඇතුලත් වූ අතර; බංගලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය, රුවන්ඩාව, සවුදි අරාබිය, සෙනගල්, ඇමෙරිකා එක්සත් ජනපදය සහ සැම්බියා යන විදෙස් රාජ්‍යන් නියෝජනය කරමින් යුද හමුදා නිලධාරීන් 13 ක්, නාවික හමුදා නිලධාරින් 08 ක් සහ ගුවන් හමුදා නිලධාරින් 04 ක් ඇතුළුව නිලධාරින් 148 දෙනෙකු අණ හා මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කිරීමට සමත් විය.
ඒ අනුව, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 17 වන මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කර මාණ්ඩලික සුදුසුකම් ලබා ගත් (Passed Staff College- psc) නාවික හමුදා නිලධාරීන් 26 දෙනෙකු සහතික පත් ලබාගත් අතර, පාඨමාලාවේ හොඳම පර්යේෂණ වාර්ථාව සඳහා වන Golden Pen සම්මානය, නාවික හමුදා නිලධාරීන් අතරින් සුවිශේෂී කුසලතා දැක්වූ නිලධාරියාට හිමි Golden Owl සම්මානය සහ සේනාවිධායක ගෞරව සම්මානය එහිදී ලුතිනන් කොමාණ්ඩර් ජේඑම්එච්අයි බංඩාර විසින් ගරු ජනාධිපති තුමා වෙතින් හිමිකර ගන්නා ලදි.
තවද, මෙම උත්සව අවස්ථාව සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක, සාගල රත්නායක මහතා, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති මේජර් ජෙනරාල්, බීකේජීඑම්එල් රොද්‍රිගු, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය, 17 වන මාණ්ඩලික පාඨමාලාවට අයත් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.