නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද නෞකා සහ යාත්‍රා මුහුදු මාර්ග නීති, දෘශ්‍ය සංඥා සහ ප්‍රායෝගික ගැට ගැසීමේ තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා සහ යාත්‍රාවන්ට අනුයුක්ත නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීම සඳහා නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද නෞකා සහ යාත්‍රා මුහුදු මාර්ග නීති (ROR), දෘශ්‍ය සංඥා (Semaphore & Flashing) සහ ප්‍රායෝගික ගැට ගැසීමේ (Rigging) තරඟාවලිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් 2023 දෙසැම්බර් මස 07 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත සහ ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් චන්දිම සිල්වා‍ ගේ අධීක්‍ෂණයෙන් සංවිධානය කරන ලද නෞකා සහ යාත්‍රා මුහුදු මාර්ග නීති (ROR), දෘශ්‍ය සංඥා (Semaphore & Flashing) සහ ප්‍රායෝගික ගැට ගැසීමේ (Rigging) තරඟාවලිය, ප්‍රධාන නෞකා, කුඩා නෞකා/ යාත්‍රා සහ වේග ප්‍රහාරක යත්‍රා යන කාණ්ඩ තුනක් යටතේ පැවැත්විණි.

ඒ අනුව මුහුදු මාර්ග නීති පිළිබඳ දැනුම යටතේ ප්‍රධාන නෞකා අතර පැවති තරඟයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ ලුතිනන් වයිඒඩීඑස්එස් යාපා විසින් දිනාගත් අතර, එහි දෙවන ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරල නෞකාවේ ලුතිනන් ඩීඊඑස් ජයකොඩි විසින් දිනාගැනීමට සමත් විය. කුඩා නෞකා හා යාත්‍රා අතර පැවති තරඟයේ ප්‍රථම ස්ථානය එල් 821 යාත්‍රාවේ ලුතිනන් වීඑල්අයි කුරේ විසින් දිනාගත් අතර, එහි දෙවන ශ්‍රී ලංකා නාවික නෞකා රණධීර නෞකාවේ ලුතිනන් ඩීඩීඩීසී වීරසිංහ විසින් දිනාගැනීමට සමත්විය. වේග ප්‍රහාරක යාත්‍රා අතර පැවති තරඟයේ ප්‍රථම ස්ථානය පී 4442 යාත්‍රාවේ ලුතිනන් එල්ඒසීඑම් යසරත්න විසින්ද, එහි දෙවන ස්ථානය පී 430 යාත්‍රාවේ ලුතිනන් එස්පීඒ මධුෂාන් විසින්ද දිනාගත් අතර, මුහුදු මාර්ග නීති සඳහා දක්‍ෂතම නිලධාරියාට හිමි සම්මානය පී 4442 යාත්‍රාවේ ලුතිනන් එල්ඒසීඑම් යසරත්න විසින් දිනාගැනීමට සමත් විය.

දෘශ්‍ය සංඥා යටතේ ප්‍රධාන නෞකා අතර පැවති තරඟයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා සයුරල නෞකාව දිනාගත් අතර, ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නෞකාව එහි දෙවන ස්ථානය දිනාගැනීමට සමත්විය. කුඩා නෞකා හා යාත්‍රා අතර පැවති තරඟයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම II නෞකාව විසින් දිනාගත් අතර, එහි දෙවන ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා හංසයා නෞකාව විසින් දිනාගැනීමට සමත් විය. වේග ප්‍රහාරක යාත්‍රා අතර පැවති තරඟයේ ප්‍රථම ස්ථානය පී 4444 / පී 465 යාත්‍රාත්, එහි දෙවන ස්ථානය පී 480 / පී 481 යාත්‍රාත් දිනාගත් අතර, දක්ෂතම දෘශ්‍ය සංඥා කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා සයුරල නෞකාවේ නාසංඥා අයිකේපී විජේරත්න සහ සංඥා I අයිඑම්එස්එම් ඉලංගකෝන් සම්මාන දිනාගැනීමට සමත් විය.

ප්‍රායෝගික ගැට ගැසීම යටතේ ප්‍රධාන නෞකා අතර පැවති තරඟයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව විසින් දිනාගත් අතර, එහි දෙවන ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව විසින් දිනාගැනීමට සමත් විය. කුඩා නෞකා හා යාත්‍රා අතර පැවති තරඟයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාව විසින් දිනාගත් අතර, එහි දෙවන ස්ථානය එල් 821 යාත්‍රාව විසින් දිනාගැනීමට සමත් විය. වේග ප්‍රහාරක යාත්‍රා අතර පැවති තරඟයේ ප්‍රථම ස්ථානය පී 435 යාත්‍රාවත්, එහි දෙවන ස්ථානය පී 491යාත්‍රාවත් දිනාගත් අතර, දක්ෂතම ගැටගසන්නා ට හිමි සම්මානය ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාවේ නායක නැවි එම් ජයලත් විසින් හිමිකර ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ඇතුළු නාවික හමුදා මූලස්ථානය, නාවික විධානයන් හා නෞකා සහ යත්‍රාවන්ට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.