නාවික හමුදාධිපති ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දහහත්වන (17) පාඨමාලාව සඳහා ආරාධිත දේශනයක් පවත්වයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති, මේජර් ජෙනරාල්, ලසන්ත රොද්‍රිගු ගේ ආරාධනයකට අනුව එම විද්‍යාලයේ දහහත්වන (17) මාණ්ඩලික පාඨමාලාව සඳහා ආරාධිත දේශනයක් පැවැත්වීම එම විද්‍යාලීය ශ්‍රවණාගරයේදී 2023 දෙසැම්බර් මස 04 වන දින සිදුකෙරිණි.
සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 17 යටතේ යුද්ධ හමුදාවේ ශිෂ්‍ය නිලධාරින් 72 දෙදෙනෙකු නාවික හමුදාවේ ශිෂ්‍ය නිලධාරින් 26 දෙනෙකු ගුවන් හමුදාවේ ශිෂ්‍ය නිලධාරින් 24 දෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු ඇතුලත්වන අතර, බංගලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය, රුවන්ඩාව, සෞදි අරාබිය, සෙනගාලය, ඇමරිකා එක්සත් ජනපදය සහ සැම්බියාව යන රාජ්‍යයන් නියෝජනය කරමින් විදෙස් ශිෂ්‍ය නිලධාරින් 25 දෙනෙකු ඇතුළුව ශිෂ්‍ය නිලධාරින් 148 දෙදෙනෙකු අණ හා මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබයි.
ඒ අනුව, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති, මේජර් ජෙනරාල්, ලසන්ත රොද්‍රිගු විසින් නාවික හමුදාධිපති මාණ්ඩලික විද්‍යාලය වෙත පිළිගැනීමෙන් අනතුරුව, “Maritimization; Request for a viable maritime strategy and Sri Lanka Navy” යන කාලීන තේමාව යටතේ නාවික හමුදාධිපති විසින් දහහත්වන (17) මාණ්ඩලික පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් ඇමතීම සිදුකෙරිණි. ශ්‍රී ලංකාවේ සමුද්‍රීය උරුමය අවබෝධ කර ගැනීමේ තීරණාත්මක වැදගත්කම සහ දූපත් රාජ්‍යක් ලෙස ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා තිබීමෙන් හිමිවන ශක්තීන් සහ දුර්වලතා පිළිබඳව එහිදී, නාවික හමුදාධිපති විසින් සිය දේශණය තුලින් අවධාරනය කෙරිණි. දූපත් රාජ්‍යක් ලෙස ශ්‍රී ලංකාව වෙත සාගරය ඔස්සේ එල්ල විය හැකි අභියෝග සහ එම අභියෝග අබිභවනය කිරීම සඳහා අනුගමනය කලයුතු ක්රමෝපායන් පිළිබඳ දීර්ඝ වශයෙන් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, විශේෂයෙන් ඉන්දියානු සාගර කලාපයේ භූදේශපාලන නව ප්රවණතා සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය ශක්තිමත් සමුද්‍රීය උපායමාර්ග අඛණ්ඩව ගවේෂණය කලයුතු බවත්, නීල ආර්ථිකය, සමුද්‍රීය කර්මාන්ත ක්ෂේත්රය සහ සමුද්‍රීය ආර්ථික කටයුතු ආදී සාගරය ඔස්සේ සිදුකෙරෙන ආර්ථික කටයුතු සුරක්ෂිතව සිදුකිරීම සඳහා, ඉන්දියානු සාගර කලාපයේ වැදගත්කම මෙන්ම, වෙනස් වන ඉන්දියානු සාගර කලාපය හමුවේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය සම්බන්ධයෙන් මෙම දේශනයේදී දහහත්වන (17) මාණ්ඩලික පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සිදුකෙරිණි.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් 2023 දෙසැම්බර් මස 04 වන දින මාණ්ඩලික විද්‍යාලයේ දහහත්වන (17) මාණ්ඩලික පාඨමාලාව වෙනුවෙන් සිදුකල ආරාධිත දේශනය සඳහා, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නාවික හමුදා ප්‍රධාන උපදේශක රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග, නියෝජ්‍ය ආඥාපති, බ්‍රිගේඩියර් අජිත් වික්‍රමසේකර, යුද හමුදා ප්‍රධාන උපදේශක බ්‍රිගේඩියර් සුබාත් සංජීව, බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ, බ්‍රිගේඩියර් ඩබ්එස් ගමගේ, ගුවන් හමුදා ප්‍රධාන උපදේශක ගුවන් කොමදෝරු එස්ඩී ජයවීර ඇතුළු අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ දහහත්වන (17) මාණ්ඩලික පාඨමාලාවට අයත් ශිෂ්‍ය නිලධාරීන් සහභාගීවී සිටියහ.
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති, මේජර් ජෙනරාල්, ලසන්ත රොද්‍රිගු සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුකිරීමෙන් අනතුරුව, මාණ්ඩලික විද්‍යාලයේ විශේෂ ආරාධිත අමුත්තන් සඳහා වූ සමරු පොතෙහි විශේෂ සමරු සටහනක් තැබීමද සිදුකෙරිණි.