ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ වාර්ෂික සුහද හමුව - 2023 උත්කර්ෂවත් අයුරින් පවත්වයි

දෙසැම්බර් මස 08 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ 44 වන සංවත්සරය නිමිත්තෙන් වූ වාර්ෂික සුහද හමුව නාවික හමුදා සංගමයේ ගරු සභාපති, හිටපු නාවික හමුදාධිපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයෙකු වන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සහ එම සංගමයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් 2023 නොවැම්බර් මස 25 වන දින වැලිසර නාවික උත්සව ශාලාවෙහිදී (Wave n’ Lake Navy Hall) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

සේවා මුක්ත නාවික හමුදා පුද්ගලයින්ගේ සුභසාධන කටයුතු පිළිබඳව සොයා බැලීමේ මූලික අරමුණින් 1979 වර්ෂයේදී ආරම්භකරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය පසුගිය වසර කිහිපය පුරා විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයින් මෙන්ම සක්‍රීය සේවයේ යෙදී සිටින නාවික හමුදා පුද්ගලයින් උදෙසා විවිධ සුභසාධක වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඉතා විධිමත් හා ක්‍රියාකාරී සංවිධානයක් ලෙස පවත්වාගෙන යනු ලබන අතර, සේවා මුක්තවූ නාවික හමුදා පුද්ගලයින් දසදහසකට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා සංගමයේ ගෞරවණීය සාමාජිකත්වය ලබා ඇත.

එමෙන්ම, මෙවර නාවික හමුදා සංගමයෙහි වාර්ෂික සුහද හමුව සඳහා හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ නාවික හමුදාධිපතිවරයෙකු වන සංගමයෙහි හිටපු ගරු සභාපති අද්මිරාල් දයා සඳගිරි (විශ්‍රාමික), හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න (විශ්‍රාමික) සහ ගරු උපසභාපති රියර් අද්මිරාල් ටීඑම්ජේ මෙන්ඩිස් (විශ්‍රාමික) ඇතුළු නාවික හමුදා සංගමයෙහි සාමාජික සාමාජිකාවන් පන්සියයක පමණ පිරිසක් සහභාගීවූ අතර, ගරු සභාපතිතුමාගේ ආරාධනයෙන් සේවයේ නියුතු නාවික පුද්ගලයින් සියයක පමණ පිරිසක්ද මෙම සුහද හමුව සඳහා සහභාගී විය.