මුහුදේ ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීම හා මෙහෙයුම් සම්බන්ධීකරණය පිළිබඳ උසස් පාඨමාලාවේ සහතික ප්‍රදානය ත්‍රිකුණාමලයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා නාවිකයින් වෙනුවෙන්, ප්‍රංශයේ රී-යූනියන් දූපතේ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් (French MRCC of Reunion Island) පවත්වනු ලැබූ, මුහුදේ ඇතිවන ආපදා සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් වන මෙහෙයුම් සම්බන්ධීකරණය පිළිබඳ උසස් පාඨමාලාවේ (Operational coordination of emergency response at sea) සහතික ප්‍රදානය 2023 නොවැම්බර් මස 24 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සිදු කෙරිණි.

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ අධීක්ෂණයෙන් සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්, 2023 නොවැම්බර් මස 20 සිට 24 දක්වා පවත්වන ලද මෙම පාඨමාලාව තුළදී මුහුදේ ඇතිවන ආපදා සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් වන මෙහෙයුම් සම්බන්ධීකරණය පිළිබඳව නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නාවිකයින් වෙත පුළුල් දැනුමක් ලබාදීම සිදු කෙරිණි. එමෙන්ම, මෙම පාඨමාලාව තුළදී සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධයෙන් වන අත්දැකීම් සහ නව දැනුම හුවමාරු කරගැනීමද සිදු කෙරිණි.

තවද, මෙම සහතික ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ හා ප්‍රංශයේ රී- යූනියන් දූපතේ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු කපිතාන්, කපිතාන් චන්දන ප්‍රියන්ත ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.