නාවික හමුදාවේ දායකත්වයෙන් තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුන්‍යකර්මය උත්කර්ෂවත් අයුරින් පවත්වයි
තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය මෙවරත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැති බර දායකත්වයෙන් 2023 නොවැම්බර් මස 18 සහ 19 දෙදින උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඓතිහාසික කිතුල්කොටේ ආරණ්‍ය සේනාසනය ලෙස ද සැදැහැවත් බෞද්ධයන් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන මෙම රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික වස් ආරාධනා කිරීමේ සහ කඨින චීවර පූජා කිරීමේ පුණ්‍යකර්මය වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමයේ පූර්ණ දායකත්වයෙන් සිදුකරනු ලබයි.
ඒ අනුව, මෙවර කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ කඨින පුණ්‍ය මහෝත්සවය, එම භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති, පූජ්‍ය වලස්මුල්ලේ ගුණරතන නාහිමිගේ අනුශාසනා පරිදි, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ මඟපෙන්වීම මත දකුණු නාවික විධානය විසින් සංවිධානය කෙරිණි.
මෙම කඨින චීවරය 2023 නොවැම්බර් මස 08 වන දින සිට නාවික හමුදාධිපති ගේ නිල නිවසේ තැන්පත් කර බෞද්ධාගමික වත් පිළිවෙත් සිදුකෙරිණි. අනතුරුව, 2023 නොවැම්බර් මස 09 සහ 10 දෙදින ශ්‍රි ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේත්, 2023 නොවැම්බර් මස 11 වන දින සිට දකුණු නාවික විධානයේ ආයතන වෙත වැඩම කරවා එම ආයතනයන්ට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ වන්දනාමානය පිණිස අවස්ථාව සැලසීම සිදුකෙරිණි. 2023 නොවැම්බර් මස 18 වන දින මෙම කඨින පුණ්‍ය මහෝත්සවයට සමගාමීව කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ බෝධි පුජා පිංකමක් සහ සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් පැවැත්වීමෙන් අනතුරුව, 2023 නොවැම්බර් මස 19 වන දින අළුයම හම්බන්තොට, ශ්‍රී ලංකා නාවික නෞකා කාවණ්තිස්ස ආයතනයේ සිට කිතුල්කොටේ සුදර්ශන බෞද්ධ මධ්‍යස්ථානය දක්වා විශේෂ රථයකින් කඨිණ චීවරය වැඩම කරවීම සිදුකෙරිණි. අනතුරුව, දකුණු නාවික විධානය විසින් සංවිධානය කළ විචිත්‍රවත් පෙරහැරක් මඟින් කඨින චීවරය කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවා බෞද්ධාගමික වත් පිළිවෙත් සිදු කෙරුණු අතර, එහිදී ගරුතර මහා සංඝරත්නය 45 නමක් විෂයෙහි දහවල් දානය හා පිරිකර පූජා කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතනී, මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
තවද, කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානය වෙත පැමිණෙන බැතිමතුන්ගේ වන්දනාමානය පිණිස නාවික හමුදා බෞද්ධ සංගමය මඟින් බුදුපිළිම වහන්සේ නමක් පූජා කිරීමද මෙම පුණ්‍ය මහෝත්සවයට සමඟාමීව මෙහිදී සිදුකෙරිණි.
මෙම කඨිණ පුණ්‍ය මහෝත්සවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති සහ අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවි රණසිංහ, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් පූජිත විතාන ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ හා දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයන් සහ බැතිමතුන් පිරිසක්ද සහභාගි වී සිටියහ.