ජාතික ආරක්ෂක පාඨමාලාවේ නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදාධිපති ගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ජාතික ආරක්ෂක පාඨමාලාව හදාරනු ලබන නිලධාරීන් වෙනුවෙන් සාම්ප්‍රදායිකව නාවික හමුදාධිපති වෙතින් පිරිනැමෙන රාත්‍රී භෝජන සංග්‍රහය, එම විද්‍යායතනයේ පාඨමාලා අංක දෙකට (02) අයත් නිලධාරීන් වෙනුවෙන් පිරිනැමීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2023 නොවැම්බර් මස 17 වන දින බටහිර නාවික විධාන නිලධාරී නිවාසයේ දී සිදුකෙරිණි.
ලොව ජාතික ආරක්ෂක විද්‍යායතනයන්හි සිදුකෙරෙන හමුදාමය සම්ප්‍රදායානුකූල අංගයක් ලෙස (Military tradition) ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක පාඨමාලාව හදාරන නිලධාරීන් සහ අධ්‍යයන කාර්යය මණ්ඩලය වෙනුවෙන් නාවික හමුදාධිපති විසින් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වීම සිදුකෙරිණි. ඒ අනුව, ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් යාපා හා එම මැතිණිය, ඇතුළු පාඨමාලාවට අයත් ත්‍රිවිධ හමුදා නිලධාරීන්, විද්‍යායතනයේ අධ්‍යයන කාර්යය මණ්ඩලය සහ එම මැතිණියන් නාවික හමුදාධිපති හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී මාලා ළමාහේවා මැතිණිය විසින් බටහිර නාවික විධානයේ නිලධාරී නිවාසය වෙත ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, මෙම සාම්ප්‍රදායික රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්විණි.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ජාතික ආරක්ෂක පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරී කණ්ඩායම සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, එම නිලධාරීන් වෙත සංකේතාත්මක තිළිණයක් ප්රදානය කිරීමද එහිදී සිදුකෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටියහ.