ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KORA’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 නොවැම්බර් මස 16 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Kora’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 නොවැම්බර් 17)දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Missile Corvette වර්ගයට අයත් ‘INS Kora’ නෞකාව, දිගින් මීටර් 91.1 ක් හා නැව් මුළුව එකසිය විසි පහක (125) ගෙන් සමන්විත අතර, නෞකාවේ අණදෙන නිලධාරී, ‍කොමාණ්ඩර් RM Nambiar සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ හා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා අතර නිල හමුවක් 2023 නොවැම්බර් මස 16 වන දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි.

තවද, ‘INS Kora’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුල එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද කටයුතු කෙරිණි.