නාවික හමුදා උත්තමාචාර මධ්‍යයේ රියර් අද්මිරාල් ජගත් ලියනගමගේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 ක සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ජගත් ලියනගමගේ අද දින (2023 නොවැම්බර් 08) නාවික හමුදා උත්තමාචාර මධ්‍යයේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යෑම සිදු කෙරිණි.

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් ජගත් ලියනගමගේ වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් ජගත් ලියනගමගේ වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1990 වසරේ දී 20 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ජගත් ලියනගමගේ, සිය වසර 33 ක සේවා කාලය තුළ ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරි (දේශීය මිළදීගැනීම්), ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්, නාවික හමුදාධිපතිගේ ලේකම්,නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සේවා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික ප්‍රතිපත්ති හා සැලසුම් (සැපයුම්), කපිතාන් සැපයුම් හා සේවා දෙපාර්තමේන්තුව (උතුර), අධ්‍යක්‍ෂ සැපයුම්, කපිතාන් සැපයුම් හා සේවා දෙපාර්තමේන්තුව (ගිණිකොන), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ දේශීය මිළදී ගැනීම්, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික ආහාර හා නිළ ඇදුම්, නාවික ලේකම්, අධ්‍යක්‍ෂ නාවික ආහාර හා නිළ ඇදුම්, අධ්‍යක්‍ෂ නාවික විදේශීය මිළදී ගැනීම්, අධ්‍යක්‍ෂ ඒකාබද්ධ සැපයුම් කළමණාකරණ පද්ධතිය, අධ්‍යක්‍ෂ නාවික සැපයුම් හා සේවා සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් (අයවැය හා මුදල්) ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.