ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘AKEBONO’ (DD 108) නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 ඔක්තෝබර් මස 28 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘AKEBONO’ (DD 108) නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ඔක්තෝබර් 31) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම ත්‍රීකුණාමලය වරායේදී සිදු කෙරිණි.

මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී (PASSEX) නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුවමාරුව වැනි නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදු කරන ලද අතර, නෞකා අතර ආචාර සමාචාර සිදු කිරීමෙන් අනතුරුව, එම අභ්‍යාසය නිමාවට පත්විය.

නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් Hisato SOTOKAWA සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් 2023 ඔක්තෝබර් මස 30 වන දින එම විධාන මූලස්ථානයේදී සහ නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ අතර නිල හමුවක් එම විද්‍යාපීඨයේදී සිදුකෙරිණි.

එමෙන්ම, ‘AKEBONO’ (DD 108) නෞකාවේ සාමාජිකයන් ත්‍රිකුණමලය නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී, යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ පුහුණු අභ්‍යාසයක් (VBSS Exercise) සාර්ථකව සිදුකරන ලද අතර, ‘AKEBONO’ (DD 108) නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුලදී එහි නැව් මුළුව, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමද සිදුකෙරිණි.

තවද, විදේශීය නාවික හමුදාවන්ට අයත් ‍නෞකා විසින් සිදුකරනු ලබන මෙවැනි සුහද සංචාර මඟින්, දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය හා සහයෝගීත්වය වැඩිදියුණු වන අතර, එම නෞකා සංචාරයන්ට සමගාමීව සිදු කරනු ලබන ඒකාබද්ධ නාවික අභ්‍යාස තුළින් හුවමාරු කරගනු ලබන නව දැනුම සහ අත්දැකීම්, ඉදිරියේදී සාගර කළාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා මහඟු පිටුවහලක් වනු ඇත.