ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 252 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 523 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 252 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් හාරසීය විසිතුන් දෙනෙකු (423) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් සිය දෙනෙකු (100) ඇතුළු ආධුනික නාවිකයින් පන්සිය විසි තුන්දෙනෙකු (523) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2023 ඔක්තෝබර් මස 20 වන දින බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.

ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති සහ අණදෙන නිලධාරී, කපිතාන් චමින්ද ගුණරත්න ගේ ආරාධනයෙන් මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස, නාවික හමුදා අඥාපති නාවික පාබල, රියර් අද්මිරාල් ජලාජ් පොන්නම්පෙරුම සහභාගී වූ අතර, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීම එහිදී ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි.

ඒ අනුව, 252 වන බඳවා ගැනීමේ දක්‍ෂතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික කාන්තා නාවික ඩබ්එම්යූඑස් විජේකෝන් විසින්ද, සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් නාවිකයාට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි ආර්ඒසීඑච් රත්නායක විසින්ද, දක්‍ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි බීඑම්ටී දිදුලංග විසින්ද, දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි එස්ඒඅයිඑම් සමරවීර විසින් ද, දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි එම්එම්එම්ජේ සංජීව විසින්ද හිමි කර ගන්නා ලද අතර, 252 වන ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම ආධුනික අංශයට හිමි කුසලානය ‘වළගම්බා’ අංශය හිමි කර ගන්නා ලදී.

252 වන බඳවාගැනීමට අයත් ආධුනික නාවිකයන් විසිර යාමේ පෙළපාලියේ සම්මාන මුරය, ආධුනික කාන්තා නාවිකයන්ගෙන් සැදුම් ලත් සම්මාන මුරයක්‍ වූ අතර, විසිර යාමේ පෙළපාලියක සම්මානමුරය එලෙස කාන්තා නාවික පුද්ගලයන් ගෙන් සමන්විත වීම, නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව පමණක් නොව ත්‍රිවිධ හමුදාවේ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව ලෙසද සනිටුහන් විය.

මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් ඇමතූ අඥාපති නාවික පාබල, රියර් අද්මිරාල් ජලාජ් පොන්නම්පෙරුම, විසිර යන ආධුනික නාවිකයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනැමීමට කටයුතු කෙරිණි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, නව තාක්‍ෂණයෙන් හා දැනුමෙන් සන්නද්ධව වෘත්තීමය නාවික හමුදාවක කාර්යභාරය ඉටු කිරීම සඳහා ඉදිරියට පැවරෙන රාජකාරීන් නිසි ලෙස ඉටුකර මව්බිම සුරැකීමටත්, මව්බිම වෙත අත්කර දුන් සැබෑ නිදහස අනාගත පරපුර වෙත දායාද කරදීමට කාර්යශූර සහ විනයගරුක නාවිකයෙකු ලෙස අධිෂ්ඨාන කර ගත යුතු බවත් පවසන ලදි.

එමෙන්ම, ශ්‍රී ලංකාවට අයත් සාගරික කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම හා සාගරය ඔස්සේ රට තුලට එල්ලවන ඕනෑම අභියෝගයක් මැඩපැවැත්වීම සඳහා මෙන්ම, ශ්‍රී ලංකාවට අයත් සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුල ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීමේ මෙහෙයුම් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සුවිශේෂී වගකීමක් පැවරී ඇති බව සඳහන් කල රියර් අද්මිරාල් ජලාජ් පොන්නම්පෙරුම, විසිර යන ආධුනික නාවිකයන් පුහුණුවෙන් ලද පන්නරය සහ විනය ප්‍රායෝගිකව ක්‍රියාවෙහි යොදවමින් ඉදිරියේදී නාවික හමුදාවේ එම වගකීම ඉටුකිරීමට අධිෂ්ඨානශීලීව කැපවිය යුතු බවත් පවසන ලදි. රට වෙනුවෙන් සේවය කිරීම සඳහා තම ආදරණීය දූ පුතුන් නාවික හමුදාවට භාරදුන් විසිර යන ආධුනික නාවිකයන්ගේ දෙමාපියන් සහ පවුල්වල සාමාජිකයින් වෙතද සිය ප්‍රණාමය පුද කිරීම එහිදී ඔහු කටයුතු කෙරිණි.

තවද, මෙම විසිරයෑමේ පෙළපාලිය විසිර ගිය ආධුනික නාවිකයන් සහභාගී වූ දර්ශනීය සරඹ සංදර්ශනයකින් සහ නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ හා සංස්කෘතික කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින් ද වර්ණවත් විය.

මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා ගරුතර මහා සංඝරත්නය, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ජයන්ත බණ්ඩාර, ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ හා දකුණු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ නිලධාරීන් හා නාවිකයින් සහ විසිර ගිය ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් සහභාගී වී සිටියහ.