ගාලු කථීකාව 2023 අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය ගාල්ලේදී ආරම්භ වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යංශය සහ Geopolitical Cartographer (GC) ආයතනය හා එක්ව එකොළොස්වන (11) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය ගාල්ල, ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලයේදී ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හා සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් අද දින (2023 ඔක්තෝබර් මස 12) ආරම්භ වූ අතර, Emerging New Order in the Indian Ocean යන තේමාව ඔස්සේ දින දෙකක් පුරා (2023 ඔක්තෝබර් 12-13) පැවැත්වෙන මෙවර සම්මන්ත්‍රණය සඳහා රටවල් 42 ක සහ ජාත්‍යන්තර සංවිධාන 11 ක නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන් රැසක් සහභාගී වෙයි.

සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතතාවය වෙනුවෙන් පවත්නා ගෝලීය නීතිමය රාමුව සහ බහුපාර්ශ්වික සමුද්‍රීය සහයෝගීතාවයන් අභියෝගයට ලක්වෙමින් සාගරික වපසරිය තුල, සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජනයන් ලෙස සැලකෙන මුහුදු මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, අවි ජාවාරම්, මිනිස් ජාවාරම්, අනවසර සංක්‍රමණ සහ නීති විරෝධී නියාමනය නොවූ හා වාර්තා නොවන ධීවර කටයුතු මෙන්ම, සමුද්‍රීය සම්පත් සූරාකෑම, සමුද්‍රීය දූෂණය, සමුද්‍රීය අනතුරු සහ සමුද්‍රීය පාරිසරික පද්ධතියට සිදුවන හානිදායක තත්වයන් ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවතින අතර, එම සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජනයන් ඉන්දියානු සාගර කලාපය වෙතද පැමිණ ඇත.

එවන් පසුබිමක, සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය සහතික කරමින්, සමුද්‍රීය ආර්ථික අභිප්‍රායන් මුදුන් පමුණුවා ගැනීම සඳහා සාමූහික ප්‍රවේශයක් ස්ථාපිත කිරීම වෙනුවෙන්, ඉන්දියානු සාගරයේ උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටි දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට පමණක් නොව, ඉන්දීය සාගරයට මුහුණලා ඇති වෙරළාශ්‍රිත රාජ්‍යයන් සහ ඉන්දීය සාගරය භාවිතා කරනු ලබන සියළුම සමුද්‍රීය පාර්ශ්වකරුවන් හට සුවිශේෂී සාමූහික වගකීමක් පැවරී ඇත. ගාලු කථිකාව අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය මඟින්, සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග සඳහා සාමූහිකව ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය දැනුම, අත්දැකීම් සහ උපාය මාර්ගික ක්‍රමෝපායන් මෙන්ම හමුදාමය නිෂ්පාදන සහ එම ක්ෂේත්‍රයේ නව නිපැයුම් සම්බන්ධයෙන් සියළුම සමුද්‍රීය පාර්ශවකරුවන් හට එකම වේදිකාවක අදහස් හුවමාරු කර ගැනීමටත්, විසඳුම් සෙවීමටත් ඉතා හොඳ අවස්ථාවක් නිර්මාණය කරදෙනු ලබයි.

ඒ අනුව, අද දින (2023 ඔක්තෝබර් 12) මෙම අන්තර්ජාතික සම්මන්ත්‍රණයේ පිළිගැනීමේ දේශනය පවත්වමින් අදහස් දැක්වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගාලු කථිකාවත සම්මන්ත්‍රණයේ සමාරම්භක සැසිය සඳහා පැමිනීම සම්බන්ධයෙන් ජනාධිපති, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත කෘතවේදීත්වය පල කරමින්, එම අවස්ථාව සඳහා සහභාගී වන, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් ඇතුළු සියළුම දෙස් විදෙස් සම්භාවනීය ආරාධිතයන් පිළිගැනීමට කටයුතු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකරනු ලබන කාර්ය භාරය අවධාරණය කරමින් හරවත් දේශනයක් පැවැත්වීම සිදුකෙරිණි.

මෙහිදී ප්‍රධාන දේශනය සිදුකල ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා, කොවිඩ් වසංගතය හේතුවෙන් අඛණ්ඩව සිදුකිරීමට නොහැකිවූ ගාලු කථිකාව, නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාව වෙත සිය ප්‍රසාදය පලකිරීමට කටයුතු කෙරිණි. එහිදී රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් අමතමින් හරවත් දේශනයක් පැවැත්වූ ගරු ජනාධිපතිතුමන්, ඉන්දු ශාන්තිකර කලාපය සහ ඉන්දීය සාගර කලාපය ඔස්සේ නිර්මාණය වන වත්මන් භූ දේශපාලන ප්‍රවණතාවයන් සැලකිල්ලට ගනිමින්, Emerging New Order in the Indian Ocean යන ගාලු කථිකාව - 2023 තේමාව විග්‍රහ කරගත යුතු බව පවසමින්, ජාත්‍යන්තර සම්බන්ධතා හා භූදේශපාලන වෙනස්වීම් පිලිබඳ කාලීන වශයෙන් ඉතාමත් වැදගත් හා හරවත් දේශනයක් පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව අද දින (2023 ඔක්තෝබර් 12), Emerging New Order in the Indian Ocean යන තේමාවට අදාලව ඉන්දීය පදනමේ සභාපති ආචාර්ය රාම් මාධව් ( President India Foundation, Dr. Ram Madhav) විසින් සහ ආචාර්ය ගනේෂන් විග්නරාජා (Dr. Ganeshan Wignaraja) විසින් මෙහෙයවන ලද සාකච්ඡා මණ්ඩපයක් මඟින් මෙම සම්මන්ත්‍රණයේදී අදහස් හා දැනුම හුවමාරු කරගැනීම සිදුකෙරිණි. එමෙන්ම, අද දින Maritime Security Concerns යන තේමාවට අදාලව ආචාර්ය රොහාන් පෙරේරා ගේ (Dr. Rohan Perera ) මෙහෙයවීමෙන් මෙම සම්මන්ත්‍රණයේ පළමු සැසිය සහ ආචාර්ය රාම් මාධව් ගේ මෙහෙයවීමෙන් Maritime Synergy to Foster Blue Economy යන තේමාවට අදලාව දෙවන සැසිය පැවැත්වුණු අතර, එහිදී සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ පාර්ශවයන් හට විද්වත් අදහස් හුවමාරු කරගැනීම සඳහා අවස්ථාව උදාවිය. එමෙන්ම, දේශීය වශයෙන් නිපදවනු ලබන හමුදාමය නව නිපැයුම් සම්බන්ධයෙන්, මේජර් ජෙනරාල් රේණුක රොවෙල් (විශ්‍රාමික) විසින් Indigenous Military Industry යන තේමාව යටතේ එහිදී ඉදිරිපත් කිරීමක්ද සිදුකෙරිණි.

මෙම සම්මන්ත්‍රණයට සමඟාමීව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් තායිලන්ත රාජකීය නාවික හමුදාවේ අද්මිරාල් Chatchai Thongsaard, සෞදි අරාබි නාවික හමුදා ප්‍රධානි ලුතිනන් ජෙනරාල් Lieutenant General Fahd bin Abdullah Al-Ghafili, පාකිස්තානු වෙරළාරක්ෂක ප්‍රධානි VAdm Raja Rab Nawaz HI(M), බංග්ලාදේශ නාවික හමුදාවේ RAdm Mohammad Anwar Hossain, ඉතාලි නාවික හමුදාවේ RAdm LH Andrea VENTURA, ඝයනා නාවික හමුදා ප්‍රධානී Brigadier Omar Sherif Khan, රුසියානු නාවික හමුදාවේ Rear Admiral Vladimir Zemskov, ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා ශාන්තිකර නෞකා සමූහයේ RAdm Eric C. Ruttenberg, ඉන්දුනීසියානු නාවික හමුදාවේ RAdm Didong Rio Duta Purwokuntjoro, මියන්මාර් නාවික හමුදාවේ Capt KYAW Khaing, පෝලන්ත නාවික හමුදා ප්‍රධානී RAdm Krzysztof Jaworski, නෙදර්ලන්ත නාවික හමුදාවේ RAdm Harold Liebregs ඇතුළු විදේශීය නාවික හමුදා ප්‍රධානීන්, ජ්‍යේෂ්ඨ නාවික නිලධාරීන්, ආරක්ෂක ප්‍රධානීන් සහ සමුද්‍රීය ක්ෂේත්‍රයේ විද්වත් නියෝජිතයින් සමඟ දිවිපාර්ශ්වීය නිල හමුවීම් සිදුකෙරුණු අතර, එමඟින් දිවිපාර්ශ්වීය වශයෙන් වැදගත් අදහස් හුවමාරු කරගැනීමද සිදුකෙරිණි.

එමෙන්ම, ගාලු කථිකාව ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ අවසන දිනය වන ඔක්තෝබර් 13 දින, Maritime Environment Protection for Collaborative Maritime Prosperity, Maritime Domain Awareness සහ Collaborative Enforcement for Sustainable Ocean Governance යන තේමාවන්ට අදාලව පාර්ශවකරුවන් විසින් විද්වත් සාකච්ඡා සහ ඉදිරිපත් කිරීම් මඟින් දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට නියමිතව ඇත.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ විදේශීය තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, දකුණු පලාත් ආණ්ඩුකාර ගරු විලී ගමගේ මහතා ඇතුළු රජයේ මැති ඇමතීන්, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිලිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, ආරක්ෂක ලේඛම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඇතුළු රාජ්‍ය නිලධාරීන්, හිටපු නාවික හමුදාධිපතිවරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් වයිස් මාෂල් උදේනී රාජපක්ෂ, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ඇතුළු විධාන ආඥාපතිවරුන්, ධජ නිලධාරීන්, යුද හා ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක් සහභාගී වී සිටියහ.

තවද, ගාලු කථීකාව - 2023 අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණයේ නවතම තොරතුරු www.galledialogue.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි අතර, එම වෙබ් අඩවිය ඔස්සේ 2023 ඔක්තෝබර් මස 12 සහ 13 යන දෙදින තුල මෙම සමුළුව සජීවීව නැරඹිමටද පහසුකම් සලසා ඇත.