Wave N’ Lake නාවික හමුදා උත්ශව ශාලාව වැලිසර දී විවෘත වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ උත්සව අවස්ථාවන් සඳහා සහ සියළුම නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන්, නාවික හමුදා පුද්ගලයන්ගේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදා තාක්ෂණික සහ ශීල්පීය දායකත්වයෙන් ඉදිකල Wave N’ Lake උත්සව ශාලාව, වැලිසර නාවික පරිශ්‍රයේදී 2023 ඔක්තෝබර් මස 07 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභපතිනී මාලා ළමාහේවා මහත්මියගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කර, මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ උත්සව අවස්ථාවන් සහ නාවික හමුදා පුද්ගලයන්ගේ මෙන්ම, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහ විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයන්ගේ සුභ සාධන අවශ්‍යතා පහසුවෙන් සිදුකරගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නාවික හමුදාව තුලම ස්ථාපනය කිරීමේ අරමුණින්, මෙම Wave N’ Lake බහුකාර්යය උත්සව ශාලාවේ ඉදිකිරීම් කටයුතු 2021 වර්ෂයේ අප්‍රේල් මස 25 වන දින එවකට නාවික හමුදාධිපති, අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ කෙරිණි. ඒ අනුව, නාවික හමුදා සුභසාධන අංශය වෙත නාවික හමුදා පුද්ගලයන් විසින් සිදුකරෙන මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉතාමත් නාවීන අංගෝපාංග සහ තාක්ෂණික උපාංග සහිතව ඉදිකිරීම් සම්පූර්ණ කළ Wave N’ Lake උත්සව ශාලාව මෙලෙස 2023 ඔක්තෝබර් මස 07 වන දින නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කර මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සිදුකෙරිණි.
වැලිසර නාවික පරිශ්‍රයේ කජුගහකුඹුර වැවට මුහුණලා මනරම් පරිසරයක, වාහන නැවැත්වීමේ විශාල ඉඩපහසුකම් සහිතව ඉදිකෙරුණු මෙම උත්සව ශාලාව තුල එකවර විශාල පිරිසකට පහසුකම් ලබාගැනීමේ හැකියාව ඇති අතර, නාට්‍ය හා සංගීත වැඩසටහන් සිදුකල හැකි විශාල වේදිකාවක්, අවන්හලක්, නවීන අංගෝපයංගයන් ගෙන් සමන්විත නවාතැන් පහසුකම් වලින්ද මෙය සමන්විත වේ. එමෙන්ම, මෙම උත්සව ශාලාව ඉදිරියේදී නාවික හමුදාවේ සම්මන්ත්රණ, වැඩමුළු, සාද, වර්ණ ප්‍රධාන උත්සව ඇතුළු විවිධ උත්සව අවස්ථාවන් සඳහා ඉතා ඵලදායි ලෙස යොදා ගැනීමේ හැකියාව ඇති අතර, නාවික හමුදා පුද්ගලයන් ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ මෙන්ම විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයන් ගේ පෞද්ගලික සම්භාෂණ හා විවාහ මංගල උත්සව ඉතා සහනදායි මිලකට සිදුකර ගැනීමට හැකියාව ලැබෙයි. එමෙන්ම, බාහිර පාර්ශවයන් සඳහා ද මෙම පහසුකම් ලබාගැනීමට අවස්ථාව හිමිවේ.
මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, නාවික හමුදාවේ විවිධ අවස්ථාවන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහාත්, නාවික හමුදා පුද්ගලයන්ගේ සහ විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය පුළුල් කිරීම සඳහාත් ඉදිකල Wave N’ Lake උත්සව ශාලාව මඟින් ඉදිරියේදී විශාල ප්රතිලාභ රැසක් නාවික හමුදාවට සහ සියළුම නාවික හමුදා පුද්ගලයන්ට උදාවනු ඇති බව ප්‍රකාශ කරන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නාවික හමුදාධිපති, නාවික හමුදා පුද්ගලයන්ගේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදා පුද්ගලයන්ගේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉදිකෙරුණු මෙම ව්‍යාපෘතිය සඳහා මහජන මුදල් වැය කිරීමක් සිදුනොකෙරුණු බවත්, මාලිමා සත්කාරක ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී පරිපාලනය වන මෙම උත්සව ශාලාව මඟින් ලැබෙන ආදායමින් කොටසක් නාවික හමුදා සුභසාධන අංශය වෙත යොමු කෙරෙන බවත්, එමඟින් නාවික හමුදා පුද්ගලයන්ගේ සහ විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයන්ගේ මෙන්ම, නාවික රණවිරු පවුල් වල සාමාජිකයන්ගේත් සුභසාධනය පුළුල් කිරීමට හැකිවන බවත් පවසන ලදි. විවිධ අවස්තාවන් සඳහා අවශ්‍ය මෙවැනි උත්සව ශාලා පහසුකම් සහ සේවාවන් බාහිර පාර්ශවයන් වෙතින් ලබාගැනීමේදී වැයවන විශාල මුදල් ප්‍රමාණයක් නාවික හමුදාව තුලම ඉතිරි කරගැනීමට මෙම ව්‍යාපෘතිය මහඟු පිටිවහලක් ගෙන දෙනු ඇති බවත් එහිදී නාවික හමුදාධිපති විසින් වැඩිදුරටත් පවසන ලදි.
එමෙන්ම, නාවික හමුදා සංගීත සහ සංස්කෘතික නර්තන අංශය මඟින් ඉදිරිපත් කල ගායන, වාදන හා රංගන අංගයන් ගෙන් ද Wave N’ Lake උත්සව ශාලාව විවෘත කිරීමේ අවස්ථාව විචිත්‍රවත් විය.
තවද, මෙම අවස්ථාව සඳහා අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ඇතුළු හිටපු නාවික හමුදාධිපතිවරුන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ඇතුළු නාවික හමුදා කළමණාකරණ මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික නාවික හමුදා නිලධාරී සංගමයේ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානයේ සහ නාවික විධානයන්හි ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වී සිටියහ.