ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වූ 25 වන සමුද්‍රීය බල සමුළුව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහභාගී වෙයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්පෝර්ට්, රෝඩ් අයිලන්ඩ්හි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද නාවික සංග්‍රාමික විද්‍යායතනයේ (U.S. Naval War College) 2023 සැප්තැම්බර් මස 19 වන දින සිට 22 වන දින දක්වා පැවැති 25 වන සමුද්‍රීය බල සමුළුව (25th International Seapower Symposium - ISS) සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය. එහිදී, ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය නාවික මෙහෙයුම් ප්‍රධානී, අද්මිරාල් Lisa M. Franchetti, ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ආඥාපති, අද්මිරාල් Linda L. Fagan, ඇමෙරිකා එක්සත් ජනපද ශාන්තිකර විධානයේ අණදෙන නිලධාරී අද්මිරාල් Samuel J. Paparo සහ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා මධ්‍යම විධානයේ ආඥාපති වයිස් අද්මිරාල් Brad Cooper ඇතුළු කලාපීය හා කලාපීය නොවන රාජ්‍යයන්ට අයත් නාවික හමුදා සහ වෙරළාරක්ෂක ප්‍රධානීන් සමඟ සිදුකෙරුණු නිල හමුවීම් සඳහා සහභාගී වී, සමුද්‍රීය ආරක්ෂාව සහ සයෝගීතාවය ඇතුළු ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිලිබඳ අදහස් හුවමාරු කරගැනීම සිදු කෙරිණි.
2023 සැප්තැම්බර් මස 19 වන දින සිට සිව් දිනක් (04) පැවැති මෙම 25 වන සමුද්‍රීය බල සමුළුව "ඒකාබද්ධ වීම මඟින් ආරක්ෂාව" යන තේමාව යටතේ පැවැත්වුණු අතර, වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සමුළුවේ ආරම්භය 1969 වර්ෂයේ සිදුවී ඇත. ගෝලීය සමුද්‍රීය පාර්ශ්වකරුවන් හට සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීම සඳහා ඉතා හොඳ වේදිකාවක් නිර්මාණය කර දෙනු ලබන මෙම ජාත්‍යන්තර සමුළුව, සමුද්‍රීය ආරක්ෂාව සඳහා සාමූහික ප්රයත්නයන් සඳහා පාර්ශ්වකරුවන්ට අවස්ථාව උදා කරදෙනු ලබයි.
ලොව පුරා සමුද්‍රීය බලවතුන් සියලුදෙනා රැස්වන එකම සමුළුව ලෙස මෙම සමුද්‍රීය බල සමුළුව සැලකෙන අතර, සමුද්‍රීය ආරක්ෂාව වර්ධනය සහ ඒ වෙනුවෙන් සාමූහිකව මෙහෙයුම් සිදුකිරීමට මෙම සම්මන්ත්‍රණය මඟින් මහඟු පිටිවහලක් ගෙනදෙයි.
එමෙන්ම, කලාපීය හා කලාපීය නොවන සමුද්‍රීය බලවතුන් රැස්වන මෙවැනි ජාත්‍යන්තර සමුළු සඳහා සහභාගී වීම මඟින් පාර්ශවකරුවන් අතර වැඩිදියුණුවන සයෝගීත්වය තුලින්, සාගර කලාපයේ සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග ඇතුළු පොදු සමුද්‍රීය අභියෝග ජයගැනීම සඳහා ඉදිරියේදී වඩාත් ශක්තිමත්ව දායක වීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට අවස්ථාව හැකියාව ලැබෙනු ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් හි පිහිටි නාවික සංග්‍රාමික විද්‍යායතනයේ ආදි විද්යාර්තියෙක් වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2004 වර්ෂයේදී එම විද්‍යායතනයේ නාවික මාණ්ඩලික පාසලෙන් නාවික අණ හා මාණ්ඩලික පාඨමාලාව හදාරා, ආරක්ෂක අධ්‍යයනය පිලිබඳ විද්‍යාපති උපාධියක් ලබා ඇත. ඒ අනුව, 25 ස්වන සමුද්‍රීය බල සමුළුවට සහභාගීවීමට සමඟාමීව ඇමෙරිකා එක්සත් ජනපද නාවික සංග්‍රාමික විද්‍යායතනයේ සංචාරයක නිරත වූ නාවික හමුදාධිපති, එම විද්‍යායතනයේ වත්මන් සභාපති වශයෙන් කටයුතු කරනු ලබන රියර් අද්මිරාල් Peter A. Garvin හමුවී සුහද පිළිසඳරක නිරතවීමටද කටයුතු කෙරිණි.