ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්‍සුම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී පවත්වයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්‍සුම සහ ආචාර පෙළපාලිය 2023 සැප්තැම්බර් මස 21 වන දින වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ සරඹ පිටියේදී සාර්ථකව පැවැත්වුණු අතර, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා ගේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරි කොමදෝරු නිමල් වසන්ත ගේ ආරාධනයෙන් එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න සහභාගී විය.

ස්වේච්ඡා නාවික හමුදාවට අයත් නාවික පුද්ගලයන්ගේ වෘත්තීමය හැකියාවන් සහ දැනුම වර්ධනය කිරීම උදෙසා පවත්වනු ලබන වාර්ෂික පුහුණු කඳවුර සහ අංශ පිරික්‍ෂුම ස්වේච්ඡා නාවික හමුදාවට අනන්‍යවූ සාම්ප්‍රදායික අංගයකි. ඒ අනුව, 2023 වර්ෂයේ සැප්තැම්බර් මස 04 වන දින ආරම්භ කෙරුණු මෙවර පුහුණු කඳවුර තුලදී නාවික හමුදාවේ කාර්ය භාරය ඉටුකිරීම සඳහා අවශ්‍ය න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබාදීම ඇතුළු පුහුණු වැඩසටහන් සාර්ථකව සිදුකිරීමෙන් අනතුරුව, 2023 සැප්තැම්බර් මස 21 වන දින නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ගේ ප්‍රධානත්වයෙන් පැවති අංශ පිරික්ෂුම හා ආචාර පෙළපාලිය සහ ඉන් අනතුරුව පැවති විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයකින් පසු 2023 වර්ෂයේ වාර්ෂික පුහුණු කඳවුර සාර්ථකව නිමාවට පත්විය.

වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්‍සුමෙන් පසු අදහස් දැක් වූ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, 2023 වර්ෂයේ ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුර අවසානයේ පැවැත්වෙන අංශ පිරික්ෂුම සඳහා ප්‍රධාන ‍ආරාධිතයා ලෙස සහභාගී වීමට ලැබීම භාග්‍යක් කොට සලකන බවත්, නාවික හමුදාධිපති රාජකාරි හේතුවක් මත දිවයිනෙන් බැහැරව සිටින බැවින්, මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ බවත් පවසන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුර සහ අංශ පිරික්ෂුම දීර්ඝ ඉතිහාසයක් සහිත ස්වේච්ඡා නාවික හමුදාවටම අනන්‍ය සම්ප්‍රදායක් බවත්, නිලධාරින් 24 ක් හා නාවිකයින් 121 දෙනෙකුගෙන් ආරම්භ වූ ස්වේච්ඡා නාවික හමුදාව, ජාතික ආරක්‍ෂාව හා සංවර්ධන අවශ්‍යතාවයන්ට සමගාමීව මේ වන විට නිලධාරීන් 397 ක් සහ නාවිකයන් 11080 කින් සැදුම්ලත් පුළුල් පිරිස් බලයකින් යුතුව වර්ධනයවී නාවික හමුදාවේ කාර්ය භාරය ඉටු කිරීම සඳහා විවිධ ක්ෂෙත්‍රයන් ඔස්සේ වෘත්තීය දායකත්වය ලබා දෙන බවත් පවසන ලදී.

ස්වේච්ඡා නාවික හමුදාව ආරම්භයේ සිට මේ දක්වා පැමිණි දීර්ඝ ගමන් ම‍‍ඟෙහිදී, මාතෘ භූමි‍යේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සහ රණක්ෂිතයට පත් වෙමින් කටයුතු කල සියළුම ස්වේච්ඡා නාවික හමුදා පුද්ගලයින් ගෞරවයෙන් සිහිපත් කර, ඔවුන්ගේ පවුල් වල සමීපතමයින් වෙතද සිය ප්‍රණාමය පුද කරනු ලබන බව පැවසූ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, සිවිල් ජන සමාජ අත්දැකීම් හා හර පද්ධතීන් තුළින් ලද පන්නරය, නාවික හමුදාවේ කාර්යභාරය කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස ඉටු කිරීම වෙනුවෙන් යෙදවීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රයෝගික පුහුණුව හා අවබෝධය වැඩි දියුණු කර ගනිමින් විනය ගරුක හා කාර්යක්‍ෂම නාවික පුද්ගලයෙකු බිහි කිරීමටත් මෙම වාර්ෂික පුහුණු කඳවුර මහඟු පිටුවහලක් වනු ඇති බවත් එහිදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, ධජ නිලධාරීන්, නාවික හමුදා මුලස්ථානයේ සහ බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.