නාවික හමුදාධිපති විසින් 09 වන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ දේශණය පවත්වයි
විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ උත්සවය නවවන (09) වරටත්, 2023 සැප්තැම්බර් මස 15 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් රත්මලාන, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ගුණානුස්මරණ දේශණය නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණි.
විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ ආරාධනයෙන් මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ නාවික හමුදාධිපති සහ එම මැතිණිය වන මාලා ළමාහේවා මහත්මිය පිළිගැනීම, විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ සභාපති එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල (විශ්‍රාමික) ඇතුළු එම සංගමයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින් සිදුකිරීමෙන් අනතුරුව, ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි. අනතුරුව, විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ සභාපති විසින් පිළිගැනීමේ කථාව සිදුකර නවවන (09) ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ උත්සවයේ ප්‍රධාන දේශණය සිදුකිරීම සඳහා සභාව වෙත නාවික හමුදාධිපති හඳුන්වා දීම සිදු කෙරිණි.
දේශණය ආරම්භ කරමින් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවේ අටවන (08) හමුදාධිපති ලෙස කටයුතු කල වකවානුවේ, එවකට අග්‍රාමාත්‍ය වශයෙන් කටයුතු කල ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිඳුන්ගේ රත්මලාන, ‘කඳවල වත්ත’ පිහිටි භූමි ප්‍රදේශය ආරක්ෂක විද්‍යාපීඨයක් බවට පරිවර්තනය කර, ත්‍රිවිධ හමුදා නිලධාරීන් එකම විද්‍යාපීඨයක පුහුණු කර ඔවුන් අතර සුහදත්වය සහ සහයෝගීත්වය වර්ධනය කිරීමේ ඔහුගේ උදාර සංකල්පය යථාර්ථයක් බවට පත් කර ගත් බවත්, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය බිහිකිරීම වෙනුවෙන් ඔහු සිදුකල පුරෝගාමී මෙහෙවර කෘතවේදීව සිහිපත් කරන බවත් පවසන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ගේ පුරෝගාමීත්වයෙන් එලෙස ආරම්භ වූ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මඟින් පුහුණුව ලද ත්‍රිවිධ හමුදා නිලධාරීන් අතරින් බිහිවූ ප්‍රථම හමුදාධිපති ලෙස, ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ දේශණය පැවැත්වීමට හැකිවීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති වශයෙන් නිහතමානීව ආඩම්බර වන බව පවසන ලදි. ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා යුද්ධ හමුදාධිපති වශයෙන් සේවය කර, විශ්‍රාම ගැනීමෙන් අනතුරුව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් වශයෙන් සහ වැඩිම කාලයක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපති වශයෙන් කටයුතු කරමින්, ඔහුගේ සුවිශේෂි නායකත්ව ගුණාංග තුළින් දක්ෂ ත්‍රිවිධ හමුදා නිලධාරීන් මව්බිමට දායාද කරදීමට සිදුකල අනභිභවනීය දායකත්වය කෘතවේදීව සිහිපත් කරන බව නාවික හමුදාධිපති විසින් වැඩිදුරටත් පවසන ලදි.
එහිදී සාගරය ඔස්සේ පැන නඟින සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග සහ නව ප්රවණතා පිළිබඳව ‘GRAY ZONE MARITIME CONFLICT’S OVERSPILL TO INDIAN OCEAN’ යන තේමාව යටතේ කාලීන වශයෙන් වැදගත් දේශනයක් පැවැත්වූ නාවික හමුදාධිපති, ලෝක බලවතුන් විසින් තම අරමුණු හා අභිප්රායන් සාක්ෂාත් කර ගැනීම උදෙසා අතීතයේ මෙන් වර්තමානයේදී සාම්ප්‍රදායිකව එකිනෙකා අතර මුහුණට මුහුණ ගැටුම් ඇති කර නොගන්නා බවත්, ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රික, තොරතුරු තාක්ෂණ, හමුදාමය සහ ආර්ථිකමය යන ක්ෂේත්රයන්ගෙන් ඒ ඒ පාර්ශවයන් ලද දියුණුව සහ බලය උපරිමව උපයෝගි කර ගන්නා බවත්, රාජ්‍ය තාන්ත්‍රික සීමාවන් අභිබවා යන එම නව ප්රවණතා සහ සමුද්‍රීය අභියෝග ඉන්දියන් සාගරය වෙතද පැමිණ ඇති බවත්, සවිස්තරාත්මක තොරතුරු සහිත ඉදිරිපත් කිරීමක් මඟින් සිය දේශණය සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි. එවන් පසුබිමක සිදුවන සමුද්‍රීය ගැටුම් වල බලපෑම කලාපීය හා කලාපීය නොවන රාජ්‍යයන්ට පමණක් නොව, ඉන්දියන් සාගරයේ උපාය මාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටි දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවටද එකසේ බලපාන බවත්, එවැනි සමුද්‍රීය අභියෝග ජය ගැනීම සඳහා සියළු සමුද්‍රීය පාර්ශවකරුවන් සාමූහිකව ක්‍රියාකිරීම වැදගත් බවත් පවසන ලදි.
තවද, එයාර් වයිස් මාර්ෂල් කිෂාන් යහම්පත් (විශ්‍රාමික) විසින් ස්තූති කථාව සිදු කිරීමෙන් අනතුරුව, මෙම වැඩසටහන නිමාවට පත්වූ අතර, මෙම අවස්ථාව සඳහා ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ගේ මැතිණිය වන රංජිනි පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන්, ගුවන් හමුදාධිපති එයර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ඇතුළු ත්‍රිවිධ හමුදා සේවයේ නියුතු සහ විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.