රියර් අද්මිරාල් ධම්මික කුමාර ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නව උපකුලපති ලෙස වැඩ භාර ගනියි

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පස්වන (05) උපකුලපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් ධම්මික කුමාර, 2023 සැප්තැම්බර් මස 01 වන දින එම විශ්ව විද්‍යාලයේදි වැඩ භාර ගැනීම සිදුකෙරිණි.

ඒ අනුව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති, මේජර් ජෙනරාල් මිලින්ද පීරීස් වෙතින් රියර් අද්මිරාල් ධම්මික කුමාර සිය ධූරයේ රාජකාරීන් භාරගැනීමෙන් අනතුරුව, හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කෙරිණි.

අභිනව උපකුලපති ධූරයේ රාජකාරීන් භාර ගත් රියර් අද්මිරාල් ධම්මික කුමාර, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයෙදී, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ පුහුණු වන නිලධාරීන් ඇමතීමට කටයුතු‍ කෙරිණි.

තවද, රියර් අද්මිරාල් ධම්මික කුමාර, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නව උපකුලපති ලෙස වැඩ භාරගැනීමට පෙර නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති ලෙස කටයුතු කරන ලදී.