නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත කොළඹ රාජකීය විද්‍යාලය වෙතින් බුහුමන්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් කොළඹ, රාජකීය විද්‍යාලයේ දිප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත බුහුමන් දැක්වීමේ උත්සවයක් අද දින (2023 අගෝස්තු 31) රාජකීය විද්‍යාලයීය පරිශ්‍රයේදී සිදු කෙරිණි.

මෙම බුහුමන් දැක්වීමේ අවස්ථාව සඳහා රාජකීය විද්‍යාලයට පිවිසි නාවික හමුදාධිපති සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, මාලා ලමාහේවා මැතිණිය එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්, විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, විද්‍යාලයේ බටහිර තූර්යවාදක කණ්ඩායමේ විචිත්‍රවත් පෙළපාලියක් මඟින් රාජකීය විද්‍යාලය තුලට කැඳවාගෙන යාමෙන් අනතුරුව, රාජකීය විද්‍යාලයීය ශිෂ්‍යභට උත්තමාචාරය පුද කිරීම සහ විද්‍යාලයීය බාල දක්ෂ කණ්ඩායම විසින් පිළිගැනීම සිදු කෙරිණි. රාජකීය විද්‍යාලීය රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිරිනමා ආචාරය පුද කිරීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති උත්සව සභාව වෙත කැඳවා ගෙන ඒම විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුඛ ගුරු මණ්ඩලය සහ ආදී ශිෂ්‍යයන් විසින් සිදු කෙරිණි.

එහිදී උත්සව සභාව ඇමතූ ආදි රාජකීය ශිෂ්‍යභට සංගමයේ සභාපති සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 16 වන නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කල අද්මිරාල් තිසර සමරසිංහ (විශ්‍රාමික), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නාවික හමුදාධිපති දක්වා පැමිණි වසර 36 කට අධික සේවා කාලය තුළ ඔහුගේ වෘත්තීය නිපුණත්වය, අවංකභාවය, විශ්වසනීයත්වය, ඉවසීම හා දරා ගැනීම යන උසස් ගුණාංග රාජකීය විද්‍යාලයේ දරුවන් හට ඉතා හොඳ ආදර්ශයක් ගෙන දෙන බව පවසන ලදි.

අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදී ශිෂ්‍යයෙකු ලෙස විද්‍යාලයේ විෂය හා විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා දායක වූ ආකාරය, පාසල් ජීවිතයෙන් පසු ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයට ඇතුලත්ව සේවා පුහුණුව ලබා නාවික හමුදාවට එක්වීම, වසර 36 ක නාවික හමුදා සේවය තුළ සිදුකල රාජකාරීන්, ලබාගත් පදක්කම් සම්මාන ජයග්‍රහණ සහ හෙබවූ ධූරයන් ඇතුළුව උත්සව සභාව වෙත ඉදිරිපත් කෙරුණු සවිස්තරාත්මක සන්නස් පත්‍රය, නාවික හමුදාධිපති වෙත පිළිගැන්වීම විද්‍යාලයේ විදුහල්පති විසින් සිදු කෙරිණි.

එහිදී, නාවික හමුදාධිපති උත්සව සභාව වෙත හඳුන්වා දීම විද්‍යාලයේ 86 කණ්ඩායමේ ජනක කොලොන්නගේ මහතා සහ රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න (විශ්‍රාමික) විසින් සිදු කිරීමෙන් අනතුරුව, උත්සව සභාව ඇමතූ රාජකීය විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා, රාජකීය විද්‍යාලය වෙතින් ත්‍රිවිධ හමුදාධිපති වරුන් රැසක් මව්බිමට දායාද කර ඇති බවත්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති ලෙස වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා පත්වීම රාජකීය විද්‍යාලයට විශාල ගෞරවයක් බවත් පවසන ලදි.

අනතුරුව, උත්සව සභාව ඇමතූ නාවික හමුදාධිපති, සිය චරිතය හැඩගස්වා නාවික හමුදාධිපති ධූරය දක්වා ගමන් කිරීමට මූලික පදනම ලබාදුන් රාජකීය විදුහල් මාතාව වෙතින් විශේෂ උපහාරයක් ලැබීම ගැන නිහතමානීව ආඩම්බරයට හා ගෞරවයට පත් වන බව පවසන ලදි. එහිදී පාසැල් අවධියේ මතකයන් අවදිකරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, පාසල් ජීවීතයේ විවිධ කඩඉම් අධිෂ්ඨානශිලීව ජය ගැනීම සඳහා 1974 වර්ෂයේ ජනවාරි මස සිට 1987 වර්ෂයේ ජුලි මස දක්වා වසර දහතුනකට වැඩි කාලයක්, තම පාසල් ජීවිතය නිවැරදිව හැඩගස්වා, පෝෂණය කර ඉගැන්වීමට කැපවූ දෙමව්පියන්, ගුරුභවතුන් කෘතවේදීව සිහිපත් කරන ලද අතර, විද්‍යාලයෙන් පිටවන විට ඉතා නිර්භීත, අවංක සහ ජවසම්පන්න තරුණයෙකු බවට පත්වීම සඳහා පාසලෙන් ලද ගුරුහරුකම් මහඟු පිටිවහලක් වූ බව පවසන ලදි. එමෙන්ම, ඕනෑම අවධානමක් ගැනීම‍ට සූදානම් උසස් ආත්ම විශ්වාසයක් සහිත පුද්ගලයෙකු වීම සඳහා බාල දක්ෂයෙකු ලෙස පාසල් අවධියේ සිදුකල විවිධ ත්‍රාසජනක ක්‍රියාකාරකම් ඇතුළු අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් මඟින් විශාල පන්නරයක් ලද බව පැවසූ නාවික හමුදාධිපති, ශක්තිමත් චරිතය පිළිබඳ විශ්වාසය තබන ලෙසත් එය පාසල තුළින් ගොඩනැඟීම අරඹන ලෙසත්, බාහිර බලපෑම් වලට නතු වී මත්ද්‍රව්‍ය ව්‍යසනයට හසුවීමෙන් වළකින ලෙසත් රාජකීය විද්‍යාලයීය දරුවන් වෙත අවධාරනය කරන ලදි. අවසාන වශයෙන්, තමන් වෙත බුහුමන් දැක්වීම සඳහා කැපවූ රාජකීය විද්‍යාලයේ විදුහල්පති, ගුරු මණ්ඩලය, ශිෂ්‍ය නායක මණ්ඩලය, සංගීත කණ්ඩායම, ශිෂ්‍යභට ඛණ්ඩය, බාලදක්ෂ කණ්ඩායම ඇතුළු සියළුම සිසු දරුවන් වෙතත්, මෙම බුහුමන් උළෙල උත්කර්ෂවත් අයුරින් සංවිධානය කිරීම සඳහා දායක වූ රාජකීය විද්‍යාලයීය සංගමය, පාසල් සංවර්ධන සංගමය, ආදී රාජකීය ශිෂ්‍යභට සංගමය සහ විද්‍යාලයීය 86 කණ්ඩායම වෙත සිය කෘතවේදීත්වය පළ කිරීම සිදු කෙරිණි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් රාජකීය විද්‍යාලයේ ලාංඡනය සහිත අනුරුවක් නාවික හමුදාධිපති වෙත විද්‍යාලයීය විදුහල්පති විසින් පිරිනමන ලද අතර, වත්මන් විදුහල්පති වෙත සහ නාවික හමුදාධිපති ගේ පාසල් අවධියේ සේවය කල හිටපු විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණි. අනතුරුව, විද්‍යාලයේ සමරු සටහන් පොතේ සමරු සටහනක් තැබූ නාවික හමුදාධිපති, සමූහ ඡායාරූප සඳහා පෙනී සීටීමෙන් අනතුරුව, විද්‍යාලයීය ශිෂ්‍යභට කාමරය හා බාලදක්ෂ කාමරය නිරීක්ෂණය කර සමරු සටහන් තැබීමද සිදු කෙරිණි.

තවද, මෙම උත්සව අවස්ථාව සඳහා විද්‍යාලීය ගුරු මණ්ඩලය‍‍‍‍‍‍, හිටපු විදුහල්පති වරුන් සහ ගුරුභවතුන්, ආදි සිසුන්, රාජකීය විද්‍යාලය මගින් බිහිකල හිටපු නාවික හමුදාධිපතිවරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, දැනට සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් සහ රාජකීය විද්‍යාලයේ සිසු දරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.