නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රජින්ද සේරම් නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් රජින්ද සේරම් අද දින (2023 අගෝස්තු 15) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් රජින්ද සේරම් වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් රජින්ද සේරම් වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1989 වසරේ දී 19 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් රජින්ද සේරම්, සිය වසර 33 කට අධික සේවා කාලය තුළ කළාප ගබඩාභාර නිලධාරි (උතුරු මැද), ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරි (ගබඩා පාලන), කපිතාන් සැපයුම් හා සේවා දෙපාර්තමේන්තුව (ගිණිකොණ), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (වැටුප් හා විශ්‍රාම වැටුප්), කපිතාන් සැපයුම් හා සේවා දෙපාර්තමේන්තුව (වයඹ), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සේවා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික ප්‍රතිපත්ති හා සැලසුම් (සැපයුම්), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (විශේෂ ව්‍යාපෘති), කොමදෝරු අධිකාරි සැපයුම් හා සේවා (උතුර), කොමදෝරු අධිකාරි සැපයුම් හා සේවා (බටහිර) සහ කොමදෝරු අධිකාරි සැපයුම් හා සේවා (නැගෙනහිර) ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.