නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම අද දින (2023 අගෝස්තු 10) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්රමුඛ නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.
1988 වසරේ දී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 06 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම, සිය වසර 35 කට අධික සේවා කාලය තුළ විවිධ නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. තවද, ඔහු ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ පුහුණු කපිතාන්, වැඩ බලන අධ්යක්ෂ නාවික පරීක්ෂණ ඒකකය, වැඩ බලන නාවික අණභාර නිලධාරි (වැලිසර), විධාන මෙහෙයුම් නිලධාරි (නැගෙනහිර), ප්‍රධානී නාවික පර්යේෂණ ඒකකය, නාවික අණභාර නිලධාරි (ත්‍රිකුණාමලය දකුණ), නියෝජ්‍ය ආඥාපති වයඹ නාවික පෙදෙස, අධ්යක්ෂ නාවික පරිපාලන, අධ්යක්ෂ ජෙනරාල් පරිපාලන, ආඥාපති ගිණිකොණ නාවික පෙදෙස, ආඥාපති උතුරු මැද නාවික පෙදෙස සහ නාවික හමුදාවේ සහ රජයේ ඒකාබද්ධ ජල මානක ප්‍රධානී ආදී ප්රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.