නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2023 අගෝස්තු මස 02 සහ 03 යන ‍දෙදින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කරන ලද අතර, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීම සිදුකෙරිණි.

ඒ අනුව, මෙම නිල සංචාරයේදී නාවික හමුදාධිපති විසින් 2023 අගෝස්තු මස 02 වන දින උතුරු නාවික විධාන මූලස්ථානයේ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ විධාන මෙහෙයුම් මැදිරිය උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විවෘත කිරීමෙන් අනතුරුව, උතුරු නාවික විධානයේ මෙහෙයුම් කටයුතු කාර්යක්‍ෂමව සිදුකිරීම සඳහා අභිනව මෙහෙයුම් මැදිරියේ ස්ථාපිත කර ඇති තොරතුරු පද්ධති හා උපාංග නිරීක්‍ෂණය කෙරිණි. එහිදී, අභිනව මෙහෙයුම් මැදිරිය තුල ස්ථාපනය කෙරුණු Decision support information dash board පද්ධතිය එළිදැක්වීමද නාවික හමුදාධිපති විසින් සිදුකෙරුණු අතර, දෛනිකව යාවත්කාලීන කරනු ලබන මෙම පද්ධතිය මඟින් උතුරු නාවික විධානයට අදාල තොරතුරු පහසුවෙන් විශ්ලේෂණය කිරීමෙන් විධානයේ මෙහෙයුම්, පරිපාලන, සුභසාධන සහ මහජන සම්බන්ධතාවන්ට අදාල කාර්යයන් වඩාත් කාර්යක්‍ෂමව හා ඵලදායි ලෙස සිදුකිරීමට ඉදිරියේදී හැකියාව ලැබෙනු ඇත.

මෙම නිල සංචාරයේදී රටේ සංවර්ධන කටයුතු වේගවත් කිරීම සඳහා නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් කන්කසන්තුරය වරායේ ස්ථාපනය කෙරුණු මගී පර්යන්තය හා අනෙකුත් යටිතල පහසුකම් නිරීක්‍ෂණය කල නාවික හමුදාධිපති, කයිට්ස් දූපතේ වෙලනි ප්‍රදේශයේ පිහිටි සෙට්ටිකුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසලේ උතුරු නාවික විධානය මඟින් සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ ක‍ටයුතු නිරීක්‍ෂණය සඳහා සහභාගී වී, එම කටයුතු කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකෙරිණි.

2023 අගෝස්තු මස 03 වන දින නාවික ස්ථානගතකීරීම වෙත්තලකේනි ආයතනයේ ආරක්‍ෂක රාජකාරීන් සහ මෙහෙයුම් කටයුතු නිරීක්‍ෂණය සඳහා සහභාගීවූ නාවික හමුදාධිපති, එම ආයතනය මඟින් සිදුකරනු ලබන ආරක්‍ෂක රාජකාරීන් සහ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්‍ෂමව සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදී, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් වෙත්තල‍කේනි නාවික ස්ථානගතකිරීමට අයත් නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීමේ දේශනයක් පැවැත්වීමට කටයුතු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, උතුරු මුහුදු ප්‍රදේශය ඔස්සේ රට තුලට රැගෙන ඒමට උත්සාහ කරනු ලබන මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගතකීරීම ඇතුළු අනෙකුත් සියළුම නෞකා හා ආයතන වෙත විශේෂ වගකීමක් ඇති බවත්, තම පෞද්ගලික අභිමතාර්තථ පසෙක ලා එම වගකීම ඉටුකිරීමට කැපවීම සියළුම නිලධාරීන් සහ නාවිකයන් වෙතින් අපේක්‍ෂා කරන බවත් පවසන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, රට අභියෝගාත්මක කාල වකවානුවක් පසුකරමින් ආර්ථික අභියෝග ජය ගනිමින් ක්‍රමයෙන් යථා තත්වයට පත්වන බවත්, නිසි කළමණාකරනයකින් හා කැපකිරීමකින් යුතුව තම පෞද්ගලික ආර්ථික කටයුතු සිදුකර ආර්ථික අභියෝග ජයගැනීම සඳහා සහය වීමට නාවික හමුදා පුද්ගලයන් හට රටේ පුරවැසියන් ලෙස වගකීමක් ඇති බවත් පවසන ලදි. ආර්ථික දුෂ්කරතා වෙනුවෙන් රජය මඟින් අවශ්‍ය සහන සලසාදී ඇති බව පැවසූ නාවික හමුදාධිපති, නාවික හමුදාව මඟින් ක්‍රීයාවට නංවා ඇති විවිධ සුභසාධන ව්‍යාපෘති මඟින්ද නාවික පුද්ගලයන් වෙත සහන සලසා ගතහැකි බවත් පවසන ලදි.

විශේෂයෙන් මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම වෙනුවෙන් නාවික හමුදාව සිදුකරනු ලබන සුවිසල් කාර්යය භාරය හේතුවෙන් සමාජයේ විශාල ඇඟයීමක් පවතින බවත්, ආර්ථික අපහසුතාවන් ගෙන් මිදීම සඳහා පහසුවෙන් ගතහැකි වැරදි තීරණ ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු වලට සම්බන්ධවීමෙන් හෝ අනුබලදීමෙන් නාවික පුද්ගලයන් වැළකිය යුතු බවත් එහිදී නාවික හමුදාධිපති විසින් අවධාරණය කරන ලදි. සමාජ මාධ්‍ය ඔස්සේ බාහිර පාර්ශවයන් විසින් ප්‍රචාරය කරනු ලබන පදනම් විරහිත තොරතුරු හමුවේ නොමඟ යමින් නාවික හමුදාවෙන් ඉවත්වීමට උත්සාහ කිරීමෙන් වැළකී, ඕනෑම ගැටළුවක් සඳහා නාවික හමුදාවේ පවත්නා ක්‍රමවේදය ඔස්සේ සෑම විටම විසඳුම් සෙවීමට උත්සාහ කරමින් නාවික පුද්ගලයන් කෙරෙහි නාවික හමුදාව විසින් තබා ඇති විශ්වාසය තහවුරු වන ලෙස කටයුතු කරන ලෙසත්, නාවික විනය හා මනාපාලනය කඩනොවන ලෙසත් තම රාජකාරීන් හා වගකීම් ඉටුකිරීමට සැමවිටම උත්සාහ කලයුතු බවත් වැඩිදුරටත් අවධාරනය කරන ලදි.

තවද, මෙම නිල සංචාරයේදී නාවික හමුදාධිපති විසින් නාගදීප පුරාණ රජමහා විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවඳගල පදුමකිත්ති තිස්ස නාහිමි බැහැදක, නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය වන්දනාමාන කර ආශීර්වාද ලබාගැනීමට කටයුතු කෙරුණු අතර, දඹකොලපටුන විහාරස්ථානයේ දී පූජ්‍ය නවඳගල අමරකීර්ති තිස්ස හිමි බැහැදැක ආශීර්වාද ලබාගැනීමට ද කටයුතු කෙරිණි.