ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති අතර නිල හමුවක්
රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ, ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී (Commander Joint Agency Task Force Operation Sovereign Borders) රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ නියෝජිතයන් පිරිසක් අද දින (2023 ජුලි 10) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
මෙම නිල හමුවේදී, මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව වෙත සිදුකෙරෙන මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකාය විසින් සිදුකරනු ලබන ඒකාබද්ධ මෙහෙයුම් සහ ඒ සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකිරීම ඇතුළු ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමක් සිදුකෙරුණු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.
එමෙන්ම, ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය විසින් නීති විරෝධී මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සම්බන්ධයෙන් නිකුත් කල ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය වෙත අදහස් දැක්වූ නාවික හමුදාධිපති, මිනිස් ජාවාරම්කරුවන්ගේ කූට උපායන්ට හසු වී, නිති විරෝධී සංක්‍රමණ සාර්ථක වේයැයි විශ්වාස කරමින් මිනිසුන් තවදුරටත් තමන් දුක් මහන්සියෙන් උපයාගත් මුදල් ඒ වෙනුවෙන් වැය කරන බවත්, එලෙස නීති විරෝධී ලෙස සංක්‍රමණය වීම කිසිසේත් සාර්ථක නොවන බැවින්, නීති විරෝධී සංක්‍රමණ පිළිවෙතේ ඇති අන්තරාය පිළිබඳ සහ නීත්‍යානුකූල සංක්‍රමණ පිළිවෙත පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය වන බවත් පවසන ලදි.
තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් (Captain Ian Cain, RAN) සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.