මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේදී පැවැත්වූ යාත්‍රාවන් සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ පාඨමාලාවක් සාර්ථකව අවසන් වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය මඟින් ත්‍රීකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ පාඨමාලාවනක්‌ සාර්ථකව අවසන් වූ අතර, එහි සහතික ප්‍රදාණය 2023 ජුලි මස 07 වන දින එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ, ගෝලීය සමුද්‍ර අපරාධ වැඩසටහනේ වැඩසටහන් සම්බන්ධීකාරක (The Programme Coordinator, Indian Ocean East Team of Global Maritime Crime Programme) සිජි සොන්ග් (Siji Song) මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අනෙකුත් සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින්, මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන යටතේ (UNODC–GMCP), යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ පුහුණු පාඨමාලාවන් 2016 මැයි මස 04 වන දින සිට ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී නාවික හමුදාව විසින් පවත්වනු ලබයි.

ඒ අනුව, 2023 ජුනි මස 26 වන දින ආරම්භ කරන ලද මෙම 07 වන පාඨමාලාව සඳහා දියත් විධානයෙන් නිලධාරීන් 03ක්ද , විශේෂ යාත්‍රා බලඝණය, නීති, නාවික විනයාරක්‍ෂක සහ නාවික මැරීන් අංශයන් ගෙන් නිලධාරීන් 01 බැගින් සහ සහ නාවිකයන් 09 ක් සහභාගී විය.

තවද, මෙම අවස්ථාව සඳහා ගෝලීය සමුද්‍රීය අපරාධ පිළිබඳ වැඩසටහනේ ප්‍රධාන පුහුණු උපදේශක ස්ටුවර්ට් මෙල්විල්(Stuart Melville) මහතා ඇතුළු නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.