නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2023 ජුලි මස 01 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වෙමින්, එම ප්‍රදේශයේ නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්ෂණය කල අතර, නාවික හමුදාවේ මෙහෙයුම් සූදානම සහ කාලීන අභියෝග කළමණාකරනය පිළිබඳව එහිදී, ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශයේ නිලධාරීන් හා නාවිකයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර ඇතුළු එම විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ නාවික අණභාර නිලධාරි ත්‍රිකුණාමලය දකුණ කොමදෝරු අසංග රතුගමගේ සමඟ ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකා වාරය සිදුකල නාවික හමුදාධිපති, ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයේ නිලධාරි නිවාසයේ පැවති ඉදිරිපත් වීමකට සහභාගී වීමෙන් අනතුරුව, ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශයේ නාවික හමුදා ආයතන හා අනුඛණ්ඩයන්ට අයත් නිලධාරීන් සහ නාවිකයන් අමතා, නාවික හමුදාවේ මෙහෙයුම් සූදානම සහ කාලීන අභියෝග කළමණාකරනය පිළිබඳව දැනුවත් කිරීම සිදු කෙරිණි.
ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශයේ නිලධාරීන් සහ නාවිකයන් ඇමතූ නාවික හමුදාධිපති, රට අභියෝගාත්මක කාල වකවානුවක් පසුකරමින් ක්‍රමයෙන් යථා තත්වයට පත්වන පසුබිමක, බාහිර පාර්ශවයන්ගේ පටු සමාජ දේශපාලන බලපෑම්වලට හසුවී නොමඟ යෑමෙන් වලකින ලෙස අවධාරණය කරන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ආදායමට සරිලන ලෙස වියදම පාලනය කරගනිමින් තම පෞද්ගලික ආර්ථික කටයුතු මනා කළමණාකාරීත්වයකින් යුතුව සිදු කිරීම කාලීන අවශ්‍යතාවයක් බවත්, ඉහළ නංවන ලද සළාක දීමනාව මඟින්ද නාවික හමුදා පුද්ගලයන්ට සහනයක් ගෙන දීමට කටයුතු කර ඇති පසුබිමක නොයෙකුත් පුද්ගලයන් විසින් සිදුකරනු ලබන අසත්‍ය තොරතුරු මත පදනම් වෙමින් නාවික හමුදාවෙන් ඉවත් වීමට උත්සාහ කිරීම අනුමත කල නොහැකි බවත් පවසන ලදී.
නිලධාරීන් සහ නාවිකයන් තම පවුලෙන්, පාසලෙන් සහ සමාජයෙන් ගොඩනගා ගත් යහපත් චරිතය හා නායකත්ව ගුණාංග නාවික හමුදාව තුල තවදුරටත් වැඩිදියුණු කර ගනිමින් එකිනෙකා අතර මනා සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් කටයුතු කල යුතු බවත්, තමන්ගේ ගැටළු සඳහා හදිසි තීරණ ගැනීමෙන් වැළකී අංශ ක්‍රමය ඔස්සේ ඒ සඳහා විසඳුම් සලසා ගත යුතු බවත් අවධාරණය කල නාවික හමුදාධිපති, ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් මිදීම සඳහා කෙටි මාර්ග ඔස්සේ මුදල් සෙවීමේ අරමුණින් නීතී විරෝධි කටයුතු වෙත යොමු වී නාවික හමුදාවේ කීර්ති නාමයට හානි වන ලෙස කටයුතු කිරීමෙන් වැළකීම සෑම නාවික පුද්ගලයෙක් වෙතින්ම නාවික හමුදාව අපේක්ෂා කරන බව පවසන ලදි. එමෙන්ම, බාහිර පාර්ශව විසින් සිදුකරනු ලබන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් යුතුව කටයුතු කල යුතු බව පැවසූ නාවික හමුදාධිපති, ව්‍යවස්ථානුකූලව රජයේ වැඩපිළිවෙලට සහය වීම වෙනුවෙන් හමුදාවන් වෙත පැවරෙන වගකීම, ඕනෑම අභියෝගාත්මක කාල වකවානුවකදී වුවද දේශාභිමානී හැඟිමෙන් යුතුව නොපිරිහෙලා ඉටු කිරීමට නාවික හමුදා පුද්ගලයන් අඛණ්ඩව කැපවිය යුතු බවත්, වැඩිදුරටත් අවධාරණය කරන ලදි.
තවද, මෙම නිරීක්ෂණ චාරිකා වාරයේදී නාවික හමුදාධිපති විසින් ත්‍රිකුණාමලය දකුණු ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන, නාවික අනුඛණ්ඩ මඩකලපුව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ වාලච්චේන ධීවර නිරීක්ෂණ මධ්‍යස්ථානය යන ආයතනයන්ගේ මෙහෙයුම් කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්ෂණය කර, ත්‍රිකුණාමලය දකුණු ප්‍රදේශයේ නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කෙරිණි.