ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 35 සහ 36 වන බඳවා ගැනීමේ තාක්ෂණික අංශයට අයත් මධ්‍ය නිලධාරීන් 23 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 35 සහ 36 වන බඳවා ගැනීමේ තාක්ෂණික අංශයට අයත් මධ්‍ය නිලධාරීන් විසිතුන් දෙනෙකු (23), 2023 ජුනි මස 30 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති අභිමානවත් අධිකාරියට පත්කිරීමේ උත්සවයකින් අනතුරුව විසිර යන ලද අතර, එම අවස්ථාව සඳහා ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ආරාධන‍යෙන්, ප්‍රධාන ආරාධිතයා ලෙස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙතින්, මධ්‍ය නිලධාරී එස්එච් මදනායක විසින් පුහුණුවීම් කාලසීමාව තුළදී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ දක්‍ෂතම තාක්‍ෂණික මධ්‍ය නිලධාරියාට හිමි සම්මානය හිමි කර ගන්නා ලදි.

අනතුරුව, අධිකාරියට පත් නිලධාරීන් ඇමතූ නාවික හමුදාධිපති, මෙම ආකර්ෂණීය විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවීමට ලැබීම භාග්‍යයක් කොට සලකන බව පවසමින් අධිකාරියට පත් මධ්‍ය නිලධාරීන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනැමීමට කටයුතු කෙරිණි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, අධිකාරියට පත්ව රාජකාරියට පිවිසෙන තරුණ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මූලික හර වටිනාකම් වන ගෞරවය, අවංකභාවය, පක්ෂපාතීත්වය සහ ධෛර්යය යන ගුණාංග ආරක්ෂා කරමින් මව්බිමේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ඉදිරියේදී කැපවිය යුතු බවත් පවසන ලදි. රාජකාරි ජීවිතයේදී විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බව පැවසූ නාවික හමුදාධිපති, අපේක්ෂිත අරමුණ කරා තම කණ්ඩායම මෙහෙයවීමට දුෂ්කර තීන්දු තීරණ ගැනීමට සිදුවන බවත්, එහිදී තම කණ්ඩායම අපේක්ෂා කරනු ලබන උපදෙස් හා නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට නිරතුරුව සූදානමින් සිටිය යුතු බවත් පවසන ලදි. එමෙන්ම, රට වෙනුවෙන් තම වගකීම ඉටු කිරීම සෑම විටම පළමු කොට සැලකිය යුතු බවත්, තම පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගැනීම සෑම විටම ‍දෙවනුව සැළකිය යුතු බවත්, විසිර යන නිලධාරීන් වෙත අවධාරණය කල නාවික හමුදාධිපති, නායකත්වය යනු අනෙකාට බලපෑම් කිරීමේ හැකියාව ලෙස හඳුනාගනු ලැබුවත්, තමන් විසින් ‍‍ගොඩනඟාගනු ලබන යහපත් චරිතය තුළින් සැබෑ නායකයෙකු වීමට හැකියාව ලැබෙන බව පවසන ලදි.

තවද, වත්මන් සංකීර්ණ ලෝක තත්වයන් හමුවේ අධිකාරියට පත් නිලධාරීන් විසින් තම රාජකාරිය ඉටු කිරීමේදී, රාජකාරි ජීවිතය හා පෞද්ගලික ජීවීතය සමබරව පවත්වා ගැනීමට කටයුතු කල යුතු බවත්, විසිර යන තරුණ නිලධාරීන් හමුවේ පැවරෙන සුවිශේෂී වගකීම් සම්භාරය හා එහි භාරදූර ස්වභාවය පිළිබඳ තම දෙමව්පියන් සහ සමීපතමයින් විසින්ද අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය බවත් අවධාරණය කල නාවික හමුදාධිපති, මව්බිම වෙනුවෙන් සේවය කිරීම සඳහා නාවික හමුදාව වෙත බැඳීමට තම දරුවන් දිරිමත් කල අධිකාරියට පත් නිලධාරීන්ගේ දෙමව්පියන් වෙත සිය කෘතවේදීත්වය පල කිරීමටද කටයුතු කෙරිණි. මෙම විසිර යාමේ හා අධිකාරියට පත් කිරීමේ අවස්ථාව උසස් අන්දමින් සංවිධානය කිරීම සඳහා සහයෝගය ලබා දුන් නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර වෙත සහ ඉහළම නාවික සම්ප්‍රදායන් හා ප්‍රමිතීන්ට අනුකූලව මෙම තරුණ නිලධාරීන්ගේ නායකත්ව ගුණාංග සහ වෘත්තීය කුසලතා වැඩිදියුණු කිරීම සඳහා කැපවූ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති ඇතුළු පුහුණු උපදේශක කාර්යය මණ්ඩලය වෙත සිය ප්‍රශංසාව පල කිරීමද එහිදී නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණි.

මෙම අධිකාරියට පත් කිරීමේ අවස්ථාව, නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයකින් සහ නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කල සංදර්ශනයකින් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූල හිරු අස්ථවිය චාරිත්‍රයත් සමඟින් නිමාවට පත්විය.

තවද, මෙම අධිකාරියට පත් කිරීමේ උත්සවය සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණිය ඇතුළු නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ඇතුළු විධාන ආඥාපතිවරුන්, අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, ධජ නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානයේ මෙන්ම නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින්, යුද හා ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ විසිර යන නිලධාරීන්ගේ දෙමව්පියන් පිරිසක් සහභාගි වී සිටියහ.