මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි

2023 ජුනි මස 21 වන දින සිට 24 වන දින දක්වා ශ්‍රි ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරත වන මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ මේජර් ජෙනරාල් Zhang Changsheng ගේ ප්‍රධානත්වයෙන් යුත් පනස් හය දෙනෙකුගෙන් (56) සමන්විත නිලධාරීන් කණ්ඩායමක් 2023 ජුනි මස 23 වන දින නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී එම කණ්ඩායමේ ප්‍රධානී සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

මේජර් ජෙනරාල් Zhang Changsheng සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර සිදු කෙරුණු මෙම නිල හමුවේදී ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනුණු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

තවද, නාවික හමුදා මූලස්ථානයේ සිදු කෙරුණු මෙම සංචාරයේදී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යය හා කර්තව්‍යය, සංවිධාන ව්‍යුහය සහ ද්වීපාර්ශ්වික සහයෝගීතාවය සම්බන්ධයෙන් මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නිලධාරීන් පිරිස දැනුවත් කිරීම, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක විසින් සිදු කෙරිණි.