ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 251 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 330 ක් විසිර යයි
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 251 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසිය හැත්තෑ අට දෙනෙකු (278) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් පනස් දෙදෙනෙකු (52) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සිය තිස් දෙනෙකු (330) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2023 ජුනි මස 17 වන දින බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.
ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති සහ අණදෙන නිලධාරී, කපිතාන් චමින්ද ගුණරත්න ගේ ආරාධනයෙන් මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් අයවැය හා මුදල්, රියර් අද්මිරාල් විජිත මාරපන සහභාගී වූ අතර, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්රදානය කිරීම එහිදී ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි.
ඒ අනුව, 251 වන බඳවා ගැනීමේ දක්ෂතම ආධුනික නාවිකයාට හිමි කුසලානය හා සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි පීඑච්ඩබ්එම්ආර්ආර්වී පනන්වෙල විසින්ද, දක්ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි ඒඑම්කේඩීකේ අත්තනායක විසින්ද, දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි ජේඩබ්ජීඑම්පී කුමාර විසින් ද හිමි කර ගන්නා ලද අතර, 251 වන ආධුනික බඳවා ගැනීමට අයත් දක්ෂතම ආධුනික අංශයට හිමි කුසලානය ‘සුරනිමල’ අංශය හිමි කර ගන්නා ලදී.
මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් ඇමතූ අධ්යක්ෂ ජෙනරාල් අයවැය හා මුදල් රියර් අද්මිරාල් විජිත මාරපන, විසිර යන ආධුනික නාවිකයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනමන ලදි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, නව තාක්ෂණයෙන් හා දැනුමෙන් සන්නද්ධව වෘත්තීමය නාවික හමුදාවක කාර්යභාරය ඉටු කිරීම සඳහා ඉදිරියට පැවරෙන රාජකාරීන් නිසි ලෙස ඉටුකර මව්බිම සුරැකීමටත්, මව්බිම වෙත අත්කර දුන් සැබෑ නිදහස අනාගත පරපුර වෙත දායාද කරදීමට කාර්යශූර සහ විනයගරුක නාවිකයෙකු ලෙස අධිෂ්ඨාන කර ගත යුතු බවත් පවසන ලදි.
එමෙන්ම, ශ්‍රී ලංකාවට අයත් සාගරික කළාපයේ ආරක්ෂාව තහවුරු කිරීම හා සාගරය ඔස්සේ රට තුලට එල්ලවන ඕනෑම අභියෝගයක් මැඩපැවැත්වීම සඳහා මෙන්ම, ගොඩබිම මෙන් 27 ගුණයක් විශාල ශ්‍රී ලංකාවට අයත් සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුල ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීමේ මෙහෙයුම් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සුවිශේෂී වගකීමක් පැවරී ඇති බව සඳහන් කල රියර් අද්මිරාල් විජිත මාරපන, විසිර යන ආධුනික නාවිකයන් පුහුණුවෙන් ලද පන්නරය සහ විනය ප්‍රායෝගිකව ක්‍රියාවෙහි යොදවමින් ඉදිරියේදී නාවික හමුදාවේ එම වගකීම ඉටුකිරීමට අධිෂ්ඨානශීලීව කැපවිය යුතු බවත් පවසන ලදි. රට ජාතියේ අනාගතය දීප්තිමත් කිරීමේ යුග මෙහෙවරට උර දීම සඳහා තම ආදරණීය දූ පුතුන් නාවික හමුදාවට භාරදුන් විසිර යන ආධුනික නාවිකයන්ගේ දෙමාපියන් සහ පවුල්වල සාමාජිකයින් වෙතද එහිදී ඔහු සිය ප්‍රණාමය පුද කර සිටින ලදි.
තවද, මෙම විසිරයෑමේ පෙළපාලිය විසිර ගිය ආධුනික නාවිකයන් සහභාගී වූ සරඹ සංදර්ශනයකින් සහ නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ හා සංස්කෘතික කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින් ද වර්ණවත් විය.
මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා ගරුතර මහා සංඝරත්නය, දකුණු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ජයන්ත බංඩාර ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ දකුණු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ නිලධාරීන් හා නාවිකයින් සහ විසිර ගිය ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් සහභාගී වී සිටියහ.