ගැඹුරු මුහුදේ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් සෙවීමේ කිමිදුම් මෙහෙයුම සඳහා සහභාගී වූ නාවික පුද්ගලයන් ඇගයේ
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීම් කලාපයට අයත් ගැඹුරු මුහුදේදී පෙරලීයාමෙන් 2023 මැයි මස 16 වන දින ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සෙවීම වෙනුවෙන් ඉතාමත් අවධානම් සහගත තත්වයක් යටතේ ජීවිත අවධානමද නොතකා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකල සුවිශේෂි කිමිදුම් මෙහෙයුම ජාත්‍යන්තරයේ විශේෂ පැසසුමට ලක්වූ අතර, එම කිමිදුම් මෙහෙයුමට සම්බන්ධ වූ නාවික පුද්ගලයන් වෙත ඔවුන් සිදුකල එම සුවිශේෂි දායකත්වය අගයා ප්රශංසාත්මක ලිපි ප්රදානය කිරීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් අද දින (2023 ජුනි 12) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීම් කලාපයට අයත් ගැඹුරු මුහුදේදී පෙරලීයාමෙන් ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාව සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව එම යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත 2023 මැයි මස 17 වන දින යොමු කරන ලද අතර, 2023 මැයි මස 20 වන දින නෞකාවේ කිමිදුම් කණ්ඩායම විසින් ආපදාවට පත් ධීවර යාත්‍රාවේ ඇතුලත තවදුරටත් සිරවී සිටිය හැකි බවට සැකකෙරෙන කාර්යය මණ්ඩලය මුදවා ගැනීම සඳහා එහිදී කිමිදුම් මෙහෙයුමක් ආරම්භ කරන ලදි.
එම මුහුදු ප්‍රදේශයේ පැවති රළු ස්වභාවය මධ්‍යයේ දින තුනක් (03) පුරා ඉතා අසීරු කිමිදුම් මෙහෙයුමක් සිදුකරමින් ධීවර යාත්‍රාවේ නවාතැන් මැදිරි ප්‍රදේශයෙන් මෘත ශරීර දෙකක් (02) සොයා ගැනීමටත්, අනෙකුත් මැදිරි තුළ නරක් වූ මෘත ශරීර දොළහක් (12) හඳුනා ගැනීමටත් එහිදි නාවික හමුදා කිමිදුම් කණ්ඩායම සමත් වූ අතර, එම අසීරු කිමිදුම් මෙහෙයුම අවසන් කර පැය 24 ක් ඇතුළත ආපදාවට පත් චීන ධිවර යාත්‍රාව සම්පූර්ණයෙන් ගැඹුරු මුහුදේ ගීලී යන්නට විය.
එවැනි ඉතාමත් අවධානම් සහගත තත්වයක් යටතේ ජීවිත අවධානමද නොතකා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකල සුවිශේෂි වික්‍රමාන්විත කිමිදුම් මෙහෙයුම ජාත්‍යන්තරයේ විශේෂ පැසසුමට ලක්වූ අතර, එම කිමිදුම් මෙහෙයුමට දායක වූ ලුතිනන් කොමාණ්ඩර් (කිමිදුම්) ඉන්දික සුභසිංහ, සුළු නිලධාරි (කිමිදුම්) කේපීඒ අරුණජිත්, සුළු නිලධාරි (කිමිදුම්) ඊඑම්ඩීඒ ඒකනායක, සුළු නිලධාරි (කිමිදුම්) ඩීඩීඑන් ජයතිස්ස, නායක නැවි (කිමිදුම්) එච්ඩී දර්ශන, නායක නැවි (කිමිදුම්) එන්එම්සීඑල් නාරායන, බලනැවි (කිමිදුම්) අයිඩීඑල්එම් දිසානායක, බලනැවි (කිමිදුම්) ඩබ්ඩබ්එන්සී සඳරුවන් සහ බලනැවි (කිමිදුම්) ආර්එස් කුමාරගේ යන නාවික පුද්ගලයන්ගේ සුවිශේෂි දායකත්වය, වෘත්තිය නිපුණත්වය සහ කැපවීම අගයමින් මෙලෙස නාවික හමුදාධිපති විසින් ඔවුන් වෙත ප්රශංසාත්මක ලිපි ප්රදානය කිරීම අද දින (2023 ජුනි 12) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
මුහුදේදී ආපදාවට පත් නෞකා සහ යාත්‍රාවන්හි නාවිකයන්ගේ ජීවිත බේරාගැනීම සඳහා ඇති ජාත්‍යන්තර සම්මුතීන් වෙත ශ්‍රී ලංකාවේ ඇති බැඳීමට අනුව, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, මුහුදේදී ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සුවිශේෂී වගකීමක් පැවරී ඇත. රාජකාරිය වෙනුවෙන් නාවික පුද්ගලයන්ගේ මෙවැනි සුවිශේෂි දායකත්වය, වෘත්තිය නිපුණත්වය සහ කැපවීම නාවික හමුදාවේ එම සුවිශේෂි වගකීම කාර්යක්ෂමව හා ඵලදායි ලෙස ඉටු කිරීමට මහඟු පිටුවහලක් ගෙන දෙනු ඇත.