ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 250 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 388 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 250 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය හතලිස් පස් දෙනෙකු (345) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් හතලිස් ‍තුන් දෙනෙකු (43) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සිය අසූඅට දෙනෙකු (388) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2023 මැයි මස 13 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.

ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති සහ අණදෙන නිලධාරී, කපිතාන් මංජුල හේවාබැට්ටගේ ගේ ආරාධනයෙන් මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජානක නිස්සංක සහභාගී වූ අතර, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීම එහිදී ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි.

ඒ අනුව, 250 වන බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයාට හිමි කුසලානය හා සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි වයිබීඑම්ඩීසීවයි බංඩාර විසින්ද, දක්‍ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි එච්ඩබ්ඒකේඩී විදානආරච්චි විසින්ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි කේඑම්ජී තත්සර විසින් ද හිමි කර ගන්නා ලද අතර, 250 වන ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම ආධුනික අංශයට හිමි කුසලානය ‘ජගතා’ අංශය හිමි කර ගන්නා ලදී.

මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් ඇමතූ උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජානක නිස්සංක, විසිර යන ආධුනික නාවිකයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනමන ලදි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, ත්‍රස්තවාදයෙන් මුදවා ගත් දේශය වෙනුවෙන් වෘත්තීමය නාවික හමුදාවක කාර්යභාරය ඉටු කිරීම සඳහා ඉදිරියට පැවරෙන රාජකාරීන් නිසි ලෙස ඉටුකර මව්බිම සුරැකීමටත්, රටේ සංවර්ධන ක්‍රියාවලියේ කොටස්කරුවන් වීම සඳහා දායක වෙමින් කාර්යශූර සහ විනයගරුක නාවිකයෙකු ලෙස මව්බිම වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ලබාදීමටත් අධිෂ්ඨාන කර ගත යුතු බවත් පවසන ලදි.

එමෙන්ම, ශ්‍රී ලංකාවට අයත් සාගරික කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම හා සාගරය ඔස්සේ රට තුලට එල්ලවන ඕනෑම අභියෝගයක් මැඩපැවැත්වීම සඳහා මෙන්ම, ගොඩබිම මෙන් 27 ගුණයක් විශාල ශ්‍රී ලංකාවට අයත් සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුල ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීමේ මෙහෙයුම් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සුවිශේෂී වගකීමක් පැවරී ඇති බව සඳහන් කල රියර් අද්මිරාල් ජානක නිස්සංක, විසිර යන ආධුනික නාවිකයන් පුහුණුවෙන් ලද පන්නරය සහ විනය ප්‍රායෝගිකව ක්‍රියාවෙහි යොදවමින් ඉදිරියේදී නාවික හමුදාවේ එම වගකීම ඉටුකිරීමට අධිෂ්ඨානශීලීව කැපවිය යුතු බවත් පවසන ලදි. රට ජාතියේ අනාගතය දීප්තිමත් කිරීමේ යුද මෙහෙවරක උර දීම සඳහා තම ආදරණීය දූ පුතුන් නාවික හමුදාවට භාරදුන් විසිර යන ආධුනික නාවිකයන්ගේ දෙමාපියන් සහ පවුල්වල සාමාජිකයින් වෙතද එහිදී ප්‍රධාන ආරාධිතයා විසින් සිය ප්‍රණාමය පුද කර සිටින ලදි.

තවද, ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනයේ පුහුණුව ලැබූ ශිල්පීය අංශය සඳහා ඉදුරාම බඳවා ගත් සුළු නිලධාරීන් දෙදෙනෙකු (02) සහ බල කාන්තා නාවිකයින් තිදෙනෙකු (03) විසිරයාමද මෙහිදී සිදු කෙරුණු අතර, මෙම විසිරයෑමේ පෙළපාලිය විසිර ගිය ආධුනික නාවිකයන් සහභාගී වූ සරඹ සංදර්ශනයකින් සහ නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ හා සංස්කෘතික කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින් ද වර්ණවත් විය.

මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා ගරුතර මහා සංඝරත්නය, නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ නිලධාරීන් හා නාවිකයින් සහ විසිර ගිය ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් සහභාගී වී සිටියහ.