නාවික හමුදාව සියත රූපවාහිණිය හා එක්ව සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සවය ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, සියත රූපවාහිණිය හා එක්ව සංවිධානය කල ‘සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සවය - 2023’, ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේදී 2023 අප්‍රේල් මස 22 වන දිනය පුරා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි.

2023 අප්‍රේල් මස 22 වන දින උදෑසන කන්තලේ සිට නාවික තඨාකාංගණය දක්වා පැවැත්වූ පාපැදි තරඟය හා නාවික තඨාකාංගණය තුල පැවති මැරතන් ධාවන තරඟ ඉසව්වන්ගෙන් අවුරුදු ක්‍රීඩා ආරම්භ වූ අතර, තවත් අවුරුදු ක්‍රීඩා රැසක්, සාම්ප්‍රදායික සංස්කෘතිකාංග ඇතුළු විශේෂාංග රාශියකින් සමන්විත වූ නාවික තඨාකාංගණයේ සැන්ඩිබේ වෙරළ තීරයේ දිනය පුරා පැවති මෙම අවුරුදු උත්සවය, නාවික හමුද සංස්කෘතික කණ්ඩායාමේ නර්තනාන්ගයන්ගෙන් සහ අංගම් හරඹ සංචිතයේ විශේෂාංගයන්ගෙන් ද වර්ණවත් විය. අවුරුදු උත්සවයේ අවසානය සනිටුහන් වූයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ මධ්‍යම රාත්‍රිය දක්වා පැවති ප්‍රකට ගායක ගායිකාවන් සහභාගී වූ, නාවික හමුදා වාද්‍ය වෘන්දය සංගීතය සැපයූ නවමු සංගීත ප්‍රසංගයක සජීවී අත්දැකීම ලබාදෙමිනි.

මෙම බක්මහ උළෙල, පාපැදි තරඟය, මැරතන් ධාවන තරඟය, දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන දිවීම, ලිස්සන ගස නැඟීම, අලියාට ඇස තැබීම, කණා මුට්ටි බිඳීම, ගෝනි පැනීම, කොට්ටා පොර, අන්ධයාට කිරි කැවීම, කඹ ඇදීම, බනිස් කෑම, පිටි තුළ සඟවා ඇති කාසිය සෙවීම, බිත්තර ඇල්ලීම, ‍පොල්අතු විවීම, බැලුන් පිපිරවීම, විවිධ ඇදුම් තරඟ, සංගීත පුටු තරඟය, අවුරුදු කුමරා/ කුමරිය තේරීම යන සාම්ප්‍රදායික තරඟ මෙන්ම නාවික හමුදාවට විශේෂිත වූ කුඩා පැදි යාත්‍රා හැසිරවීම, වේග හබල් ඔරු යාත්‍රා හැසිරවීම සහ මුහුදේ පිහිනීම යන තරඟ ඉසව්වන්ගෙන් සමන්විත වූ අතර, ඒ සඳහා වෙයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය, ඩයලොග් ආයතනය, CBL ආයතනය ඇතුළු අනුග්‍රාහක භවතුන් විසින් වටිනා මුල්‍ය ත්‍යාග පිරිනමන ලදි. නාවික හමුදා සාමාජිකයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද ඉතා උද්යෝගයකින් යුතුව මෙම ක්‍රීඩාවන් සඳහා සහභාගි වන ලදී.

ඒ අනුව, පාපැදි තරඟයේ පළමු ස්ථානයට හිමි රු. 50,000.00 ක් වටිනා මූල්‍ය ත්‍යාගය නායක වාදක ඊඩීඑම්පී එදිරිසිංහ විසින්ද, පිරිමි මැරතන් ධාවන තරඟයේ පළමු ස්ථානයට හිමි රු. 30,000.00 ක් වටිනා මූල්‍ය ත්‍යාගය නායක පාබල කේඑම්ජීසීයූ ලක්සිරි විසින්ද, කාන්තා මැරතන් ධාවන තරඟයේ පළමු ස්ථානයට හිමි. 30,000.00 ක් වටිනා මූල්‍ය ත්‍යාගය බල කාන්තා ශාරිරික අභ්‍යාසක ජීබීඑච්බී ධර්මශ්‍රී විසින්ද, මුහුදේ පිහිනීම තරඟයෙන් පිරිමි අංශයේ පළමු ස්ථානයට හිමි රු. 25,000.00 ක් වටිනා මූල්‍ය ත්‍යාගය මධ්‍ය නිලධාරි කේඑන්ටී පෙරේරා විසින්ද, එහි කාන්තා පළමු ස්ථානයට හිමි රු. 25,000.00 ක් වටිනා මූල්‍ය ත්‍යාගය ආර්ආර්ඩී දිල්මි රත්නායක දියණිය විසින් ද දිනා ගන්නා ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාව, සියත රූපවාහිණිය හා එක්ව සංවිධානය කල ‘සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සවය - 2023’ අවුරුදු කුමරාට හිමි රු. 50,000.00 ක් වටිනා මුල්‍ය ත්‍යාගය බලනැවි එම්ඩබ්කේ මදුශාන් විසින් හිමි කරගත් අතර, අවුරුදු කුමරියට ලෙස තේරී පත්වූ සමාධි තත්සරණි සෙනවිරත්න දියණිය විසින් රු. 50,000.00 ක් වටිනා මුල්‍ය ත්‍යාගය හිමි කරගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්, වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ නිලධාරීන්, අනුග්‍රාහක භවතුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.