නාවික හමුදාව ‘නැකතට පැළයක්’ සිංහල හා දෙමළ අළුත් අවුරුදු චාරිත්‍රය ඉටු කරයි

2023 වර්ෂයේ සිංහල හා දෙමළ අළුත් අවුරුදු සිරිතක් ලෙස කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් සංවිධානය කර ඇති ‘නැකතට පැළයක් - ජාතික රුක් රෝපණ වැඩසටහන’ට සමගාමීව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් අද දින (2023 අප්‍රේල් 20) උදෑසන 0638 යෙදුනු සුබ නැකතින් නාවික හමුදා මූලස්ථානයේදී අඹ පැළයක් රෝපණය කිරීම සිදු කෙරිණි.

‘දේශයට හුස්ම දෙන නැකත’ ලෙස 2023 වර්ෂයේ සිංහල හා දෙමළ අළුත් අවුරුදු නැකත් සීට්ටුවට ඇතුළත් කර ඇති මෙම පැළ සිටුවී‍මේ චාරිත්‍රයට අනුව, නාවික හමුදා මූලස්ථානයේ සිදු කෙරුණු රුක් රෝපණ වැඩසටහන සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ඇතුළු නාවික පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.

තවද, ‘නැකතට පැළයක්’ සිංහල හා දෙමළ අළුත් අවුරුදු චාරිත්‍රයට අනුව, ගිණිකොණ නාවික විධානයේදී සිදු කෙරුණු රුක් රෝපණ වැඩසටහන, එම විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.