මෙරට යාත්‍රා තැනීමේ කර්මාන්තය වෙනුවෙන් යාත්‍රා සැලසුම් සේවා ව්‍යාප්ත කිරීම සඳහා වූ දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදාව මඟින් සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදා ඉංජිනේරු දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත නාවික සැලසුම් (Naval Design) අංශය මඟින්, මෙරට යාත්‍රා තැනීමේ කර්මාන්තය පිළිබඳව එම ක්ෂේත්රයේ කර්මාන්ත කරුවන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් වැලිසර නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගණයේදී 2023 අප්‍රේල් මස 03 වන දින සාර්ථකව සිදුකෙරිණි.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ ගේ අධීක්ෂණයෙන්, නාවික සැලසුම් ඒකකයේ ශිල්පීය හා තාක්ෂණික හැකියාවන් තුළින් මෙරට යාත්‍රා තැනීමේ කර්මාන්තය සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම හා එම ක්ෂේත්රයේ ඉදිරි සංවර්ධනය හා අභිවෘද්ධිය, මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මඟින් නාවික හමුදාව අපේක්ෂා කෙරිණි.
ඒ අනුව, මෙම වැඩසටහන තුළින් නාවික සැලසුම් ඒකකයේ 2010 වසරේ සිට ක්රමික වර්ධනය, යාත්‍රා සැලසුම් නිර්මාණකරනය සඳහා යොදා ගනු ලබන නවීන තාක්ෂණය, පවත්නා මෘදුකාංග හා පුහුණු යාන්ත්‍රික හා විද්‍යුත් ඉංජිනේරු ශිල්පීය හැකියාව යනාදිය පිළිබඳව මෙරට යාත්‍රා තැනීමේ කර්මාන්තයේ නියුතු පාර්ශවයන් දැනුවත් කිරීම සිදුකෙරිණි.
තවද, යාත්‍රා තැනීමේ කර්මාන්තය මෙරට නීල ආර්ථිකයක් ඇති කිරීම උදෙසා දායකත්වය සපයන නැඟීඑන ප්රමුඛ අපනයන අංශයක් ලෙස හඳුනාගෙන ඇති අතර, ඒ සඳහා දායකත්වය ලබාදෙමින් 2025 වර්ෂය වන විට රාජ්‍ය අංශය සතු ඉහළ ශක්‍යතාවයක් සහිත යාත්‍රා හා නෞකා සැලසුම් ඒකකය බවට නාවික සැලසුම් ඒකකය පත්කිරීමද නාවික හමුදාව අපේක්ෂා කර ඇත.