යන්ත්‍රානුසාරයෙන් වෙරළ තීරය පවිත්‍ර කිරීම සඳහා නාවික හමුදාව වෙත BEACH TECH SWEEPY (BTS) යන්ත්‍රයක් ලබාදෙයි

යන්ත්‍රානුසාරයෙන් වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පසුගිය 2023 මාර්තු මස 12 වන දින මට්ටක්කුලිය, කාක දූපත් වෙරළ තීරයේදී ආරම්භ කෙරුණු අතර, ඒ සඳහා යොදාගනු ලබන BEACH TECH SWEEPY (BTS) යන්ත්‍රයක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදීම, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහභාගීත්වයෙන් අද දින (2023 මාර්තු 25) ගාලු මුවදොර වෙරළ තීරයේදී සිදුකෙරිණි.

පසුගිය 2021 වර්ෂයේ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවට සිදුවූ ආපදාවේ බලපෑමෙන් අපවිත්‍ර වූ වෙරළ කලාපය පවිත්‍ර කර යථාතත්වයට පත්කිරීම වෙනුවෙන් යොදවන ලද යන්ත්‍රෝපකරණ මඟින් දිවයින වටා සංචාරක වෙරළ තීර පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2023 මාර්තු මස 12 වන දින මට්ටක්කුලිය, කාක දූපත් වෙරළ තීරයේ දී ආරම්භ කෙරිණි. මෙම වැඩසටහන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා පොලිස් පරිසර ඒකකය, ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු තවත් රාජ්‍ය හා පෞද්ගලික පාර්ශවකරුවන් ඒකාබද්ධව ක්‍රියාවට නංවනු ලබයි.

ඒ අනුව, මෙරට වෙරළ පරිසර පද්ධතිය සුරැකීම වෙනුවෙන් නිරන්තර දායකත්වය දක්වනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත යන්ත්‍රානුසාරයෙන් වෙරළ පවිත්‍ර කිරීමේ BEACH TECH SWEEPY (BTS) යන්ත්‍රයක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ලබාදීම මෙලෙස අද දින (2023 මාර්තු 25) සිදුකෙරුණු අතර, නාවික හමුදාධිපති විසින් එම යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය එහිදී පරීක්ෂාවට ලක්කිරීම ද සිදු කෙරිණි. වෙරළ පවිත්‍ර කිරීම සඳහා මෙවැනි යාන්ත්‍රික උපකරණ භාවිතය මඟින්, නාවික හමුදාව විසින් සිදුකරනු ලබන වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන් ඉදිරියේදී වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇති අතර, එමඟින් වෙරළ තීරය රැක ගනිමින් සංචාරක කර්මාන්තය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමේ හා මතු පරපුර වෙනුවෙන් පරිසරය රැකදීමේ රජයේ වැඩපිළිවෙලට දායකවීමටද නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික), නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී ඇතුළු පිරිසක් එක්ව සිටියහ.