නාවික හමුදා කඩොලාන සංරක‍්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ස්ථාපනය කළ කඩොලාන පැළ තවානක් උතුරු මැද නාවික විධානයේදී විවෘත කෙරේ

නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ උතුරු මැද නාවික විධානයේ ස්ථාපනය කරන ලද කඩොලාන පැළ තවාන අද දින (2023 පෙබරවාරි 20) උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරල් ප්‍රසාද් කාරියප්පෙරුම ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ, සියළුම නාවික විධානයන් තුල ගංඟා මෝය සහ කලපු ආශ්‍රිත සමුද්‍රීය පරිසර පද්ධතිය රැකගැනීම වෙනුවෙන් කඩොලාන සංරක්‍ෂණය සහ නැවත සිටුවීම වෙනුවෙන් පරිසර හිතකාමී වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අයත් ඌරුමලේ නාවික අනුකණ්ඩයෙහි කඩොලාන පැළ 2400 ක ප්‍රමාණයකින් සමංවිතව ස්ථාපනය කරන ලද මෙම කඩොලාන පැළ තවාන අද දින (2023 පෙබරවාරි 20) මෙලෙස උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරල් ප්‍රසාද් කාරියප්පෙරුම ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අතර, ඉදිරියේදී මෙම කඩොලාන පැල උතුරු මැද නාවික විධානයේ ගංඟා මෝය සහ කලපු ආශ්‍රිත පරිසර පද්ධතිය තුල සිටු වීමට අපේක්‍ෂා කෙරේ.

තවද, මෙම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් මෙන්ම, පැලතවාන ස්ථාපනය සඳහා තාක්‍ෂණික සහාය ලබාදුන් පෞද්ගලික ආයතනයක සාමාජිකයන් ද සහභාගී වී සිටියහ.