කළුගං මෝය ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණ වැඩසටහනක්

නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ 2023 පෙබරවාරි මස 19 වන දින කළුතර කළුගං මෝය ආශ්‍රිත ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් ලෙස බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ අධික්‍ෂණය යටතේ කළුගං මෝය ආශ්‍රිතව මුහුදු ඛාදනයට ලක්වන ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැල 200ක්, මෙලෙස රෝපණය කිරීම සිදු කෙරිණි.

මෙම කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහන සඳහා කළුතර ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ පසු පුහුණු ඒකකයට අනුයක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහ ‘Clean Ocean Force’ සංවිධානයේ සාමාජිකයන් පිරිසක්ද සහභාගි වි සිටියහ.