2022 වසරේ හොඳම නෞකාව ලෙස ශ්‍රීලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව නම් කෙරේ

2022 වර්ෂයේ හොඳම ශ්‍රීලංකා නාවික හමුදා නෞකාව වශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවත් කුඩා නෞකාව වශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාවත් හොඳම වේග ප්‍රහාරක යාත්‍රාව වශයෙන් පී 414 යාත්‍රාවත් 2023 පෙබරවාරි මස 13 වන දින නම් කරන ලද අතර, ඒ අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සුරතින් ජයග්‍රහණය ලද නෞකා සහ යාත්‍රාවන්ට හිමි තරු සලකුණු සහිත ඵලකයන් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරල නෞකාවේ දී ලබා දීම සිදුකෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකා අතරින් සෑම වසරකම හොඳම නෞකාව, හොඳම කුඩා නෞකාව සහ හොඳම වේග ප්‍රහාරක යාත්‍රාව තෝරා පත් කර ගැනීමට කටයුතු කරන අතර, එහිදී, කාණ්ඩ තුනක් යටතේ නෞකා‍වන් සහ යාත්‍රාවන් අතර පවත්වනු ලබන නැව් මුළුවේ නාවික දැනුම, කඹ හැසිර වීම සහ මුහුදු මාර්ග නීති පිළිබඳ දැනුම, ක්‍රියාකාරී මුහුදු පුහුණු ඇඟයීම් වලදී ලබාගන්නා ලකුණු, නෞකා අතර පැවති යුධ අභ්‍යාසයන්, වැඩිම මුහුදු සංචාරයන් සිදු කල නෞකාව සහ වේග ප්‍රහාරක යාත්‍රාව සහ අන්තර් නෞකා ක්‍රීඩා තරඟවලදී ලබාගන්නා ජයග්‍රහණ යන කරුණු පදනම් කර ගනිමින් හොඳම නෞකාවන් සහ වේග ප්‍රහාරක යාත්‍රාව ‍නම් කිරීමට කටයුතු කරනු ලබයි.

ඒ අනුව, ධජ නිළධාරී නාවික දියත් විධානය විසින් 2022 වසරේ හොඳම නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවත් හොඳම කුඩා නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාවත්, හොදම වේග ප්‍රහාරක යාත්‍රාව ලෙස පී 414 යාත්‍රාවත් තෝරා ගෙන ඇති අතර, එම ජයග්‍රහණයන්ට අදාල තරු සලකුනකින් යුතු ඵලකයන් 2023 පෙබරවාරි මස 13 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා සයුරල නෞකාවේ දී නාවික හමුදාධිපති වයිස් අදිමිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සුරතින් අදාල නෞකාවන්ගේ සහ වේග ප්‍රහාරක යාත්‍රාවේ අණදෙන හා අණභාර නිලධාරීන් වෙත ප්‍රදානය කරන ලදි.

තවද මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් පූජිත විතාන, කොමදෝරු මුහුදු පුහුණු කොමදෝරු නිමල් රණසිංහ ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගීවී සිටියහ.