ඕස්ට්‍රේලියානු සාගරික දේශසීමා ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ඕස්ට්‍රේලියානු සාගරික දේශසීමා ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් (Rear Admiral Justin Jones) ඇතුළු ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දූත පිරිසක් අද දින (2023 පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

මෙම නිල හමුවේදී ඕස්ට්‍රේලියානු සාගරික දේශසීමා ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ නාවික හමුදාධිපති අතර, ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් ඉයන් කේන් (Captain Ian Cain, RAN) ඇතුළු දූත පිරිසක් මෙන්ම නාවික හමුදාධිපතිගේ නාවික සහයක කොමදෝරු කෝසල වර්ණකුලසූරිය ද සහභාගී වූ අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

තවද, මෙම නිල හමුවේදී ඕස්ට්‍රේලියානු සාගරික දේශසීමා ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දූත පිරිස සමඟ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී, සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම සඳහා සාමූහිකව කටයුතු කිරීම ඇතුළු ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරුවක් සිදු කෙරිණි.