ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් 17 දෙනෙකු විශිෂ්ඨ සේවා විභූෂණයෙන් පිදුම් ලබයි

ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා 2019, 2020 සහ 2021 වර්ෂයන්ට අදාලව පිරිනමනු ලබන විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම පිරිනැමීම සහ ‘75 වන නිදහස් සමරු පදක්කම’ පිරිනැමීමේ නිල උත්සවය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් 2023 පෙබරවාරි මස 01 වන දින මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

ඒ අනුව, වසර 25 කට වැඩි නොකැළැල් අඛණ්ඩ සේවා කාලයක් සහිත ත්‍රිවිධ හමුදාවේ සේවයේ යෙදී සිටින සහ විශ්‍රාමික නිලධාරීන් 77 දෙනෙකු වෙත 2019, 2020 සහ 2021 වර්ෂයන්ට අදාලව මෙහිදී ගරු ජනාධිපතිතුමා විසින් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම පිරිනමන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 53 දෙනෙක්, ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් 17 දෙනෙක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් 07 දෙනෙක් ඇතුලත් විය.

මෙම විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම ප්‍රදානෝත්සවයේදී 2019 වර්ෂය වෙනුවෙන් රියර් අද්මිරාල් යූඑස්ආර් පෙරේරා (විශ්‍රාමික), රියර් අද්මිරාල් කේඩබ්ඒආර්අයි රණසිංහ, රියර් අද්මිරාල් ඩීඑම්එල්ඒ දිසානායක (විශ්‍රාමික), රියර් අද්මිරාල් ඒඒආර්කේ පෙරේරා (විශ්‍රාමික), රියර් අද්මිරාල් ඩීඑච් කුලරත්න (විශ්‍රාමික), රියර් අද්මිරාල් යූඅයි සේරසිංහ (විශ්‍රාමික), රියර් අද්මිරාල් කේජී පෝල් (විශ්‍රාමික), රියර් අද්මිරාල් ඒකේ ගුරුගේ (විශ්‍රාමික), රියර් අද්මිරාල් ඒඑස්කේ සේනාධීර (විශ්‍රාමික), රියර් අද්මිරාල් එච්එල්ඒඩීඑෆ් සෙනවිරත්න (විශ්‍රාමික) යන ජ්‍යේෂ්ඨ නිලධාරීන්ද, 2020 වර්ෂය වෙනුවෙන් රියර් අද්මිරාල් පීඩීඑස් ඩයස් (විශ්‍රාමික), රියර් අද්මිරාල් එස්බී සේනාරත්න (විශ්‍රාමික), රියර් අද්මිරාල් එල්එච්එස්ආර් ලේල්වල (විශ්‍රාමික), රියර් අද්මිරාල් ඩබ්එච්යූපී හේවගේ (විශ්‍රාමික) යන ජ්‍යේෂ්ඨ නිලධාරීන්ද, 2021 වර්ෂය වෙනුවෙන් රියර් අද්මිරාල් එච්ජීයූඩී කුමාර, රියර් අද්මිරාල් එම්එස්කේ මහවත්ත සහ රියර් අද්මිරාල් ටීඩබ්ඩබ් ලීලාරත්න යන ජ්‍යේෂ්ඨ නිලධාරින් ගරු ජනාධිපති තුමා වෙතින් විශිෂ්ඨ සේවා විභූෂණයෙන් (වීඑස්වී) පිදුම් ලැබූහ.

එමෙන්ම, 75 ස් වන නිදහස් සැමරුම වෙනුවෙන් නිර්මාණය කරන ලද, ‘75 ස් වන නිදහස් සමරු පදක්කම’ සංකේතාත්මකව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත පැළඳවීම ද මෙම උත්සවයේදී සිදුකෙරුණු අතර, එහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙතද 75 ස් වන නිදහස් සමරු පදක්කම පැලඳවීම ගරු ජනාධිපති තුමන් විසින් සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක, සාගල රත්නායක මහතා, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා සම්භාවනීය අමුත්තන් සහ ත්‍රිවිධ හමුදා සෙසු නිලයන් පිරිසක් සහභාගී වී සිටියහ.