නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය කරෙයිනගර් හිදී පැවැත්වූ 03 වන ජීවිතාරක්ෂක පුහුණු පාඨමාලාවේ සහතික ප්රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, නෝර්ත්වින්ඩ් ප්‍රොජෙක්ට් ආයතනය හා සහයෝගයෙන් යාපනය, කරෙයිනගර් හිදී සංවිධානය කළ තෙවන (03) ජීවිතාරක්ෂක පාඨමාලාව සාර්ථකව අවසන් කළ යාපනය ප්‍රදේශයේ තරුණයන් අට දෙනෙකු (08) වෙත සහතික පත්‍ර ප්රදානය කිරීම, උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ප්‍රියාල් විතානගේ ගේ ප්‍රධානත්වයෙන් 2023 ජනවාරි මස 06 වන දින කරෙයිනගර්, ෆෝර්ට් හැමන්හිල් අවන්හලේදී සිදු කෙරිණි.
වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සංකල්පයක් මත, එවකට ඔහු උතුරු නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කල කාල වකවානුවේ, යාපනය ප්‍රදේශයේ තරුණයන් දිරිගැන්වීමේ අරමුණෙන් සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස මෙම ජීවිතාරක්ෂක පුහුණු පාඨමාලාවන් ආරම්භ කරන ලද අතර, එලෙස ආරම්භ කල පළමු හා දෙවන ජීවිතාරක්ෂක පුහුණු පාඨමාලාවන්, 2021 වර්ෂයේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසයන් තුළ දී ආරම්භ කර සති තුනක කාලසීමාවක් කරෙයිනගර්හී ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයේදී, නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හා මුදාගැනීම් ඒකකයේ දායකත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.
ඒ අනුව, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ අධීක්ෂණයෙන්, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය සහ නෝර්ත්වින්ඩ් ප්‍රොජෙක්ට් ආයතනය හා සහයෝගයෙන්, නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හා මුදාගැනීම් ඒකකයේ දායකත්වයෙන්, 2022 දෙසැම්බර් 14 සිට සති තුනක් පුරා, යාපනය ප්‍රදේශයේ තරුණයන් වෙනුවෙන් සංවිධානය කල මෙම තෙවන (03) ජීවිතාරක්ෂක පුහුණු පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ යාපනය ප්‍රදේශයේ තරුණයන් අට දෙනෙකු (08) වෙත සහතික පත්‍ර ප්රදානය කිරීම, මෙලෙස උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති ගේ ප්‍රධානත්වයෙන් 2023 ජනවාරි මස 06 වන දින යාපනය කරෙයිනගර්, ෆෝර්ට් හැමන්හිල් අවන්හලේදී සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් නලින්ද කුමාර, උතුරු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ ලේකම් සමීර ජීවන්ත මහතා, නෝත් වින්ඩ්ස් ප්‍රොජෙක්ට් ආයතනයේ නියෝජිත ජෙකන් අරුලයියා මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.