නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් නෙවිල් උභයසිරි නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
රියර් අද්මිරාල් නෙවිල් උභයසිරි සිය වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් අද දින (2023 ජනවාරි 06) විශ්‍රාම යන ලදී.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්රමුඛ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් නෙවිල් උභයසිරි වෙත උපන් දින සුභපැතුම් එක් කිරීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද කෙරිණි. සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් එම ජ්‍යේෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන පිරිනමන ලදි.
1989 වර්ෂයේදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 07 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් නෙවිල් උභයසිරි, සිය සේවා කාලය තුළ නාවික හමුදා ආයතනයන් හා නෞකාවන්හි අණදෙන නිලධාරි ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස කටයුතු කර ඇත. තවද, ඔහු නියෝජ්‍ය අධ්යක්ෂ නාවික සුභසාධන, කපිතාන් මෙහෙයුම් දෙපාර්තමේන්තුව (නැගෙනහිර), නියෝජ්‍ය අධ්යක්ෂ නාවික පරීක්ෂණ, කපිතාන් මුහුදු පුහුණු, ගිණිකොණ නාවික විධානයේ නියෝජ්‍ය ආඥපති, අධ්යක්ෂ සැපයුම් කළමණාකරණ මැදිරිය සහ අධ්යක්ෂ ජෙනරාල් සේවා වැනි ප්රමුඛ නිලතල දරා ඇති කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.